Gossips

බස්නාහිර ඉසුරට විශ්වාසභංගයක්

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම කෙරෙහි එම පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමුව තිබෙනවා.
ඊට සහයෝගය ලබා ගැනීම සඳහා පළාත් සභාවේ අනෙකුත් පක්ෂවල මන්ත්‍රීවරුන් සමඟ මේ දිනවල සාකච්ඡා කරන බවයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමේ නායක සුනිල් ජයමිණි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
බස්නාහිර පළාත් සභාව සදහා එකක් රුපියල් හයලක්ෂ 40,000 ක් වටිනා පුටු 125 ක් බෙල්ජියමෙන් ගෙන්වීමට ටෙන්ඩර් කැඳවීමේ සිද්ධියක් පිළිබඳව පසුගිය දිනවල හිරු ප්‍රවෘත්ති තුළින් අනාවරණ කළා. පසුව එය තාවකාලිකව අත්හිටුවීමටයි බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර නියෝග කළේ.
මෙම තත්ත්වය තුළ බස්නාහිර පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 38දෙනා ඉදිරියේදී විපක්ෂයේ අසුන් ගැනීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයිද පළාත් සභා මන්ත්‍රී සුනිල් ජයමිණි ප්‍රකාශ කළා.
‘‘ප්‍රධාන අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය කළකිරිලා තියෙන්නේ.
කණ්ඩායම් කිහිපයක් මත පළවෙලා තියෙනවා විශ්වාසභංගයක් ගෙන එන්න.
අපි ඒ ගැන මේ වනවිට සාකච්ඡා කරමින් ඉන්නේ.’’
සභිකයින් 104 දෙනෙකුගෙන් සැදුම්ලත් බස්නාහිර පළාත් සභාවේ පාලන බලය හොබවන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි.
මන්ත්‍රීවරු 59 දෙනෙකු ආණ්ඩු පක්ෂයේ අසුන් ගෙන සිටින නමුත් ඉන් මන්ත්‍රීවරු 38 දෙනෙකු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනවා.
මන්ත්‍රීවරු 45 දෙනෙකු නියෝජනය කරන්නේ විපක්ෂයයි.
ඊට එක්සත් ජාතික පක්ෂයේ 28ක්, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ 9ක්, ජනතා විමුක්ති පෙරමුණේ 06ක් සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ දෙදෙනෙකු වශයෙන් මන්ත්‍රීවරු ඇතුළත්.
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වුවහොත් ඒ සඳහා කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී නිරෝෂන් පාදුක්කගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ ඉසුර දේවප්‍රිය ගෙන එන හැම යෝජනාවකටම ඒකාබද්ධය කැමැත්ත පළ කර සිටියදී මෙවැනි විශ්වාසභංගයක් ගෙන ඒම විහිළු සහගත බවයි.
මේ අතර ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වුවහොත් ගන්නා තීරණය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවයි ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි කියා සිටියේ.