Gossips

යළි දැනුම්දෙනතුරු 16 යේ කණ්ඩායමට ඇමති ආරක්ෂාව

යළි දැනුම්දෙනතුරු ආණ්ඩුවෙන් ඉවත්වූ දහසය දෙනාගේ කණ්ඩායමට ඇමති ආරක්ෂාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ, නීතිය හා සාමය විෂයභාර අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ප්‍රභූ ආරක්ෂක කමිටුව ගත් තීරණයකට අනුවයි.
ඒ අනුව ආණ්ඩුවෙන් ඉවත්වූ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට පෙර තිබූ ආරක්ෂාව තවදුරටත් ලබාදෙනු ඇති.
සාමාන්‍ය ක්‍රමවේදයට අනුව කැබිනට් අමාත්‍යවරයෙකුට ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් හත්දෙනෙකුගේ ආරක්ෂාව හිමිවනවා.
රාජ්‍ය අමාත්‍යවරයෙකුට හා නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට හිමිවන්නේ ආරක්ෂක නිලධාරීන් තුන්දෙනෙකු හෝ හතරදෙනෙකු පමණයි.
අමාත්‍ය ධුරයකින් ඉවත් වූ අයෙකුට හිමිවිය යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමි ආරක්ෂාවක්.
ඒ අනුව එය ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනෙකුට සීමා වනවා.
කෙසේ වෙතත් ප්‍රභූ ආරක්ෂක කමිටුව අවසන් වතාවට රැස්වූ අවස්ථාවේදී ආණ්ඩුවෙන් ඉවත්වූ දහසයේ කණ්ඩායමට යළි දැනුම්දෙනතුරු මෙතෙක් ලබාදුන් ඇමති ආරක්ෂාව අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බවට නිර්දේශ කර තිබෙනවා.
ප්‍රභූ ආරක්ෂක කමිටුවේ ප්‍රධානියා ලෙස නීතිය හා සාමය භාර අමාත්‍යවරයා කටයුතු කරන අතර, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා, පොලිස්පතිවරයා මෙන්ම ප්‍රභූ ආරක්ෂක අංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාද එහි සෙසු සාමාජිකයන්.
කෙසේ වෙතත් තවදුරටත් තමන්ට ඇමති ආරක්ෂාව ලබාදෙන ලෙස රජයට කිසිදු ඉල්ලීමක් සිදු නොකළ බවයි ආණ්ඩුවෙන් ඉවත්වූ දහසයේ කණ්ඩායම පවසන්නේ.