Gossips

විජයකලා ගැන පියවර ගත යුතු ක්‍රමවේදය නීතිපති කථානායකට දන්වයි

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට හිටපු රාජ්‍ය ඇමතිනී, විජයකලා මහේෂ්වරන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළ වාර්තාවලට අනුකූලව ගතයුතු නීතිමය පියවර සම්බන්ධයෙන් පරීක්ෂා කරන බව නීතිපති දෙපාර්තමේන්තුව කථානායක කරූ ජයසූරිය වෙත දැනුම් දී තිබෙනවා.
ඊට අමතරව පාර්ලිමේන්තුව විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරියට අදාළව කිසියම් පියවරක් ගැනීමට අපේක්ෂාවෙන් සිටින්නේ නම් එම පියවර ස්ථාවර නියෝග යටතේ ගැනීමට කටයුතු කරන ලෙසයි නීතිපති දෙපාර්තමේන්තුව කථානායකවරයාට උපදෙස් ලබාදී ඇත්තේ.
එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට හිටපු රාජ්‍ය ඇමතිනී, විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලබා ගත් ප්‍රකාශ සටහන් ඇතුලත් වාර්තාව නීතිපතිවරයා වෙත භාරදී ඇති බව පොලීසිය පසුගියදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
විමර්ශන සිදුකරන පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය එහිදී වැඩිදුරටත් සදහන් කළේ ප්‍රකාශ 59 ක් ඊට අදාළව සටහන් කරගෙන ඇති බවයි.
මැති ඇමතිවරුන් හය දෙනෙකු, රාජ්‍ය නිලධාරින් 14 දෙනෙකු සහ මාධ්‍යවේදීන් 30 දෙනෙකු එම ප්‍රකාශ ලබාදී තිබුණා.
එහිදී කරුණු සලකා බැලූ අධිකරණය නඩුව ඔක්තෝම්බර් 19 වනදා යළි කැදවීමට නියෝග කළා.