Gossips

ප්‍රදේශ කිහිපයක අදත් වැසි

මධ්‍යම, සබරගමුව, බස්නාහිර පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද දිනයෙත් වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත් පවතින වැසි සහ සුලං තත්ත්වයේ අඩුවීමක් හෙට සිට අපේක්ෂා කරන බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර කියා සිටියේ.
මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකියි.
බස්නාහිර පළාතේ සහ ගාල්ල මෙන්ම මාතර දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇතිවනවා.
කුරුණෑගල දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.
විශේෂයෙන් මධ්‍යම, වයඹ, උතුරු මැද, දකුණ, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් බදුල්ල, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්වලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50 ක් 60 ක් දක්වා තරමක් තද සුළං ඇතිවීමේ හැකියාවක් ද පවතිනවා.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය තවදුරටත් ඉහළ මට්ටමක පවතින අතර හෙට සිට එය යම් තරමක් අඩුවනු ඇති බවයි.
මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ ත්‍රිකුණාමලයේ සිට මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 ත් 60 ත් පමණ වනවා.
විටින් විට එය පැයට කිලෝමීටර් 70 ක් 80 ක් දක්වා වැඩි වීමේ හැකියාවක් ද පවතින අතර එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රලු විය හැකියි.
මේ පිළිබඳ ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසටයි ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ.