Gossips

උතුරේ යුද ස්මාරක ඉවත් කරන්නැයි විග්නේෂ්වරන් ඉල්ලයි – හීන දකින බව ආණ්ඩුකාරවරයා කියයි

සිංහල සහ දෙමළ ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය වැඩි කිරීම සඳහා උතුරේ පිහිටුවා ඇති යුද ස්මාරක ඉවත් කිරීම හෝ ප්‍රතිනිර්මාණය කිරීමක් සිදුකරන ලෙස උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ඉල්ලීමක් කරනවා.
ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් ඔහු පෙන්වා දී ඇත්තේ අදාළ ස්මාරක මඟින් යුද්ධයෙන් පීඩා විඳි දෙමළ ජනතාවගේ සිත් සුවපත් කිරීම වෙනුවට ආරක්ෂක අංශ ලබාගත් යුද ජයග්‍රහණය පිළිඹිඹු කර ඇති බවයි.
එසේම, උතුරේ ජනාකීර්ණ ස්ථාන රැසක පිහිටුවා ඇති යුද ස්මාරක මඟින් යළි යළිත් යුද්ධයේ අමිහිරි අත්දැකීම් සිහිපත් කරන බවත්, දෙමළ ජනතාව තුළ වෛරය හා ජාතිවාදී හැඟීම් ඇති කිරීමට එය හේතුවක් බව, ප්‍රධාන අමාත්‍යවරයා යොමුකළ ලිපියේ දැක්වෙනවා.
එම නිසා යුද්ධයෙන් පීඩා විඳි දෙමළ ජනතාවගේ හදවත් දිනා ගැනීම හා සිංහල දෙමළ ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය වැඩි කිරීම සඳහා එම යුද ස්මාරක ප්‍රදර්ශනය කිරීම නැවැත්විය යුතු බවයි ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් සිය ලිපියෙන් පෙන්වා දෙන්නේ.
මේ අතර, උතුර පළාත් ආණ්ඩුකාර කාර්යාලය ද මහඇමති සී.වී.විග්නේෂ්වරන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ උතුර පළාත් සභාව විසුරුවා හැරීමෙන් පසු කිලිනොච්චිය ප්‍රදේශයේ බෞද්ධ විහාරස්ථාන දෙකක් ඉදිකිරීම සඳහා ආණ්ඩුකාරවරයා සැලසුම් සකස් කරමින් පවතින බවට මහ ඇමති විග්නේෂ්වරන් පසුගියදා සිදුකර ඇති ප්‍රකාශය මුළුමනින්ම සාවද්‍ය බවයි.
පටු දේශපාලන වාසි තකා සැමවිටම අසත්‍ය ප්‍රකාශ සිදුකරන සී.වී.විග්නේෂ්වරන්ගේ තවත් සාවද්‍ය ප්‍රකාශයක් ලෙස එම ප්‍රකාශය හැඳින්විය හැකි බවද උතුර පළාත් ආණ්ඩුකාර කාර්යාලය නිකුත් කළ අදාළ නිවේදනයේ සඳහන්.
නිවේදනය අවසන් කර ඇත්තේ නුදුරේදීම විසුරුවා හැරීමට නියමිත උතුර පළාත් සභාවේ බලය අහිමිවීම නිසා විග්නේෂ්වරන් නන් දොඩවන බව, සිහින දකින බව සහ අසත්‍ය ප්‍රකාශ සිදුකරන බව සදහන් කරමින්.