Gossips

දින 5 කින් දුම්රියට තීරණාත්මක සාකච්ඡාවක්

වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලබන බ්‍රහස්පතින්දා ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව තීන්දුවක් ගන්නා බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා. ජනාධිපතිවරයා සමග අද පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය අදහස් දක්වමින් එහි නියෝජිතයින් මේ බව කියා සිටියා.
දුම්රිය ස්ථානාධිපති, නියාමක, දුම්රිය පාලක, දුම්රිය එන්ජින් රියදුරු ඇතුලූ වෘත්තීය සමිති 9ක් අද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.
ජනාධිපති නිල නිවසේ පැවති එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න කියා සිටියේ දුම්රිය ශ්‍රේණි විෂමතා විසදීම වෙනුවෙන් අනුමත වී ඇති කැබිනට් පත්‍රිකා ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයාගෙන් එහිදී ඉල්ලා සිටි බවයි.
මේ අතර, දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ හා විදුලි සීනු ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් අද හික්කඩුවේදී පැවැත්වුණේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන්.
එහිදී මාධ්‍යවේදීන් දුම්රිය වෘත්තීය සමිති ඉල්ලීම් පිලිබදව අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා.
ඔහු කියා සිටියේ ඔවුන්ගේ ගැටලූ විසදීම සදහා මාස දෙකක කාලයක් ඒ සදහා පත් කෙරුණු කමිටුවට අවශ්‍ය බවයි.