Gossips

හිටපු ජනපති මහින්දට යළි ජනපති අපේක්ෂකයා විය හැකි ද? – පොදුජන පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමට සූදානම්

19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව තුන්වන වතාවටත් ජනාධිපති ධුරයට තරඟ කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අවස්ථාව පවතින බවට ඉදිරිපත්වී ඇති නීති විශාරද මත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරුණු විමසන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ජනාධිපති නීතීඥවරුන් සහ නීති විශාරදයින් කිහිපදෙනෙකු සමඟ මේ වනවිටත් සාකච්ඡා සිදුකරමින් සිටින බවයි. 19 වන ව්‍යවස්ථාව අනුව එහි අඩංගු කරුණු අතීතයට බලනොපාන බවටයි නීති විශාරදයින් පෙන්වා දී ඇත්තේ.
මේ සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට ආචාර්ය, නීතිඥ ප්‍රතිභා මහානාමහේවා කියා සිටියේ ඕනෑම ව්‍යවස්ථාවක් එය ආරම්භ කළ දිනයේ සිට බල පැවැත්වෙන බවයි.
පසුගිය රජය සමයේ සම්මත කර ගැනුණු 18 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපති ධූරයට ඕනෑම වාරයක් ඉදිරිපත්වීමට අවස්ථාව හිමි කර දී තිබුණා.
එහෙත් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලයට පත්වීමෙන් පසු පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සම්මත කර ගත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපති ධුර කාලසීමාව දෙවතාවකට සීමා කිරීමට යළි පියවර ගැනුණා.
එමෙන්ම 19 වන සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ බලතල සීමා කිරීමට ද පියවර ගෙන තිබෙනවා.