Gossips

අදත් දිවයින පුරා වැසි – නුවරඑළිය සහ රත්නපුරට නායයෑමේ අවදානම තවදුරටත් (ඡායාරූප)

දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්‍යක්‍ෂ අතුල කරුණානායක සඳහන් කළේ අද දිනයේදීත් මධ්‍යම, සබරගමුව පළාත්වල මෙන්ම කළුතර, ගාල්ල, මාතර, යන දිස්ත්‍රික්කවල මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.
වැසි තත්ත්වය තවදුරටත් පැවතුණහොත් නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානමක් ඇති විය හැකි බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ.
ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ, අඹගමුව ප්‍රදේශවලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට, ඇහැලියගොඩ ප්‍රදේශවලටත් මෙම නායයෑමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මකයි.
මේ අතර පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු ඊයේ පස්වරුවේ මුළුමනින්ම ඇණහිටියා.
හැටන් – ෂැනන් වත්ත ප්‍රදේශයේදී අදාළ පස් කන්ද කඩාවැටී තිබූ අතර, ඊයේ පෙරවරුවේද එම ස්ථානයෙන් අදාළ මාර්ගය අවහිරවී තිබුණේ තවත් පස් කන්දක් කඩාවැටීම හේතුවෙන්.
කෙසේ වෙතත් මේ වනවිට ඒ ආසන්නයෙන් තාවකාලික විකල්ප මාර්ගයක් ඉදිකර ඇති බව පොලීසිය සඳහන් කළා.
මේ අතර ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු 3 ක් තවදුරටත් විවෘත කර තිබෙනවා.
ඊට අමතරව කැනියොන්, කාසල්රි සහ මාවුස්සාකැළේ යන ජලාශවලද වාන් දොරටු දෙක බැගින් විවෘතයි.

(ඡායාරූප – රංජිත් රාජපක්ෂ)