මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් මේ වනවිට ප්‍රකාශයක් සටහන් කර ගනිමින් පවතිනවා.
ඒ සඳහා අද උදෑසන 11.20 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් කොළඹ – 07 – විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසට පැමිණියා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති නිශාන්ත සිල්වා, සහකාර පොලිස් අධිකාරි ජී.එස්.තිසේරා ඇතුළු නිලධාරින් 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට මෙලෙස පැමිණ තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසට පැමිණෙන බව කලින් දැනුම් දී තිබුණා.
ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, එස්.බී.දිසානායක, කෙහෙළිය රඹුක්වැල්ල, පවිත්‍රා වන්නිආරච්චි ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් ද එහි පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
කීත් නොයාර් පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ කථානායක කරූ ජයසූරිය ද මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබාදී තිබුණා.
මාධ්‍යවේදී කීත් නොයාර් මෙලෙස පැහැර ගෙන ගොස් පහරදී තිබුණේ 2008 වසරේ මැයි 22 වනදායි.
Update : 2018-08-17- 13.02
———————————–
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මීට ටික වේලාවකට පෙර පැමිණ තිබෙනවා.
ඒ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සදහායි.