Gossips

ප්‍රහාරයකට සැරසෙන බවට ඇමරිකාවෙන් චීනයට චෝදනා

චීන බෝම්බ ප්‍රහාරක යානා ඇමරිකාවට සහ පැසිෆික් කලාපයේ ඇමරිකානු මිතුරු ඉලක්කයන්ට ප්‍රහාර එල්ල කිරීමේ පුහුණු කටයුතුවල නිරත වන බවට පෙන්ටගනය චෝදනා කරනවා.
ඇමරිකානු ආරක්ෂක කේන්ද්‍රස්ථානය වන පෙන්ටගනය මේ බව ප්‍රකාශ කළේ සිය වාර්ෂික වාර්තාව ඇමරිකානු කොංග්‍රසය වෙත ඊයේ ඉදිරිපත් කරමින්.
ගොඩබිම් හමුදා බලයට කේන්ද්‍රගත වූ චීනය සටන් කර ජයග්‍රහණය කිරීමේ හමුදා බලයක් බවට පරිවර්තනය වන බවයි එම වාර්තාවේ සඳහන් කර ඇත්තේ.
මේ අතර, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් මේ වසර අගදී පැවැත්වීමට සැලසුම් කළ දැවැන්ත හමුදා පෙළපාලිය ඊට වැය වන ඩොලර් මිලියන 90 ක් පමණ වන අධික වියදම හේතුවෙන් ලබන වසර දක්වා කල් දමා ඇති බව වාර්තා වනවා.
ඇමරිකානු හමුදා බලය ප්‍රදර්ශනය කිරීම සඳහා මෙවැනි හමුදා පෙළපාලියක් පැවැත්වීමට ජනපති ට්‍රම්ප් නියෝග කළේ පසුගිය වසරේ ප්‍රංශයේ පැවති බැස්ටීල් දින හමුදා පෙළපාලිය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි.
යුද්ධයේදී දිවි පිදූ ඇමරිකානුවන්ට බුහුමන් කිරීමටත්, පළමු ලෝක යුද්ධයේ සියවසර අනුස්මරණය කිරීමටත් එමගින් සැලසුම් කර තිබුණා.