Gossips

වජ්පායිගේ අභාවය ගැන ලක් රජයේ ශෝකය

අභාවප්‍රාප්ත ඉන්දීය අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායිගේ අවසන් කටයුතු වලට සහභාගි වීම සඳහා ලක් රජය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ සභානායක මෙන්ම, රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අද අලුයම ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.
හිටපු ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ අවසන් කටයුතු නවදිල්ලි නුවරදී අද පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.
ඒ සඳහා සහභාගි වන ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා, හිටපු අග්‍රාමාත්‍ය වජ්පායිගේ අභාවය පිළිබඳ ලක් රජයේ ශෝකය ඉන්දීය රජයට සහ වජ්පායි පවුල වෙත දැනුම් දෙනු ඇති.
මේ අතර, හිටපු ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ අභාවය පිිළිබඳ ශෝකය පළ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ට්විටර් පණිවුඩයක් ද නිකුත් කළා.
එමගින් ඔහු සඳහන් කළේ ශ්‍රේෂ්ඨ මානවවාදියෙකු වූ අතල් බිහාරි වජ්පායි ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරෙකු බවයි.
ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයෙකු මෙන්ම, අනාගතය පිළිබඳ පැහැදිලි දැක්මක් තිබූ නායකයෙකු ලෙසයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටපු අගමැති වජ්පායි හැඳින්වූයේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායිගේ අභාවය සම්බන්ධයෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ඔහු ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා කටයුතු කළ මෙරට සැබෑ මිතුරෙකු බවයි.