Gossips

කේරළයේ ගංවතුරෙන් ජීවිත හානි 94 ක්

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වනවිට ජීවිත හානි 94 ක් වාර්තා වී තිබෙනවා.
ඊයේ දිනය තුළද එහි අසාමාන්‍ය වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර, ඉදිරි දින දෙක තුළ ද වැසි අපේක්ෂා කරන බවයි ඉන්දීය කාලගුණ අංශ ප්‍රකාශ කළේ.
විශාල ප්‍රදේශයක් ජලයෙන් යටවී ඇති කේරළයේ ජීවිතාරක්ෂක මෙහෙයුම් සඳහා යුද, නාවික සහ ගුවන් භටයන් මැදිහත් වී සිටින අතර, ඉන්දීය ගුවන් හමුදාව ඒ සඳහා විශේෂ ගුවන් යානාවක් ද යොදවා තිබෙනවා.
ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 14 න් 13 ක්ම ජලයෙන් යටවී ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද දින එහි නිරීක්ෂණ සංචාරයක ද නිරත වීමට නියමිතයි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කේරළයේ කොචී නුවර වෙත පැමිණෙන්නේ හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය අතල් බිහාර් වජ්පායිගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීමෙන් අනතුරුවයි.
තුන් වරක් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරය දැරූ වජ්පායිගේ අවමංගල්‍ය උත්සවය නවදිල්ලියේදී අද පස්වරුවේ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට නියමිතයි.
අද පෙරවරු 9 ට භාරතීය ජනතා පක්ෂ මූලස්ථානය වෙත රැගෙන යන දේහය රැගත් රිය පෙරහර පස්වරු 1 ට ආරම්භ වීමට නියමිතයි.