Gossips

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපතිගේ නියෝගයකින් කෝටියකට අධික පාඩුවක් සිදුවූ බව කොමිසමේදී හෙළිවේ

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ ගුවන් කළමනාකරුවන්ගේ තීරණය වෙනස් කරමින් ප්‍රංශය බලා පිටත්වීමට නියමිතව තිබූ ගුවන් යානයක් සම්බන්ධයෙන් දුන් නියෝගයක් හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට රුපියල් එක් කෝටි 17 ලක්ෂයකට අධික පාඩුවක් සිදුව ඇති බව විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමේදී හෙළිවුණා.
මේ හේතුවෙන් ගුවන් මගීන් 128 දෙනෙකුට සිය ගමනාන්ත වැරදුණු බවත්, ඉන් ගුවන් සමාගමේ කීර්ති නාමයට අතිවිශාල කැළලක් සිදුවූ බවත් ඊයේ කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් කළමනාකරුවන් දෙදෙනා ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකන් සහ මිහින්ලංකා ආයතනවල දූෂණ සෙවීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පත්කළ කමිටුව හමුවේ ඊයේ සාක්ෂි ලබාදුන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් මෙහෙයුම් කළමනාකරුවන් වන ධම්මික සේනානායක සහ ශයිලාන් නිශාන්ත හඳපාන්ගොඩයි.
ගුවන් යානා දෙකක් කාර්මික දෝෂයකට ලක්වී තිබීම හේතුවෙන් කොළඹ සිට ප්‍රංශය බලා පිටත්වීමට නියමිත යානය ප්‍රමාද කිරීමට තීරණය කර තිබූ බවයි ගුවන් තොටුපලේ ගුවන් මෙහෙයුම් කළමනාකාරවරයා සාක්ෂි ලබාදෙමින් කියා සිටියේ.
එහෙත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ දුරකථනයෙන් කථාකොට කොළඹ සිට ප්‍රංශය දක්වා ගමන් කරන ගුවන් යානය කිසිදු ප්‍රමාදයකින් තොරව යවන ලෙසත් එම ගුවන් යානයේ විශේෂ දූත කණ්ඩායමක් යැවීමට සිටින බවත් දැනුම්දී තිබූ බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කළා.
සභාපතිවරයාගේ නියෝගය අනුව අදාළ යානය නියමිත වේලාවට පිටත්කර යැවූ බවයි කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් මෙහෙයුම් කළමනාකාරවරයෙකු කියා සිටියේ.
මේ නිසා එම ගුවන් යානයට පැමිණීමට නියමිතව සිටි පිරිසට සහ ප්‍රංශය සහ ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන් තොටුපල වෙත යාමට සිටි පිරිසට ඔවුන්ගේ ගමනාන්ත වෙත යෑම සඳහා වෙනත් ගුවන් සමාගම්වලට මුදල් ගෙවා ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට සිදුවීමෙන් විශාල වියදමක් දැරීමට සිදුවූ බවයි සාක්ෂිවලදී තවදුරටත් හෙළිව ඇත්තේ.