Gossips

ශ්‍රී ලංකා – ඉරාන ගණුදෙනු රුපියල්වලින්

ඇමරිකානු සම්බාධක හමුවේ ශ්‍රී ලංකාව සමඟ රුපියල් වලින් ගණුදෙනු කිරීමට ඉරාන රජය කැමැත්ත පළ කර තිබෙනවා.
අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම ඊයේ (14) පැවති කැබිනට් රැස්වීමට මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ බවයි අමාත්‍ය මහින්ද අමරවීර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
ඒ අනුව, මීට අදාළව ඉදිරි කටයුතු සිදුකිරීම සදහා ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය කැබිනට් අනුකමිටුවක් පත් කර තිබෙනවා.
එහි සාමාජිකයින් වන්නේ අමාත්‍යවරුන් වන සරත් අමුණුගම, මහින්ද අමරවීර, මංගල සමරවීර, අර්ජුන රණතුංග සහ තිලක් මාරපනයි.
ඉරානය, මෙරටට බොරතෙල් සහ පොහොර සපයන ප්‍රධාන රටක් වන අතර, මේ වනවිට ඇමරිකාව ඉරානයට සම්බාධක පනවා තිබෙනවා.
මේ හේතුවෙන් ඉරානය සමඟ ගණුදෙනු කිරීමේදී බාධා මතුව ඇති අතර, ශ්‍රී ලංකාව සමඟ වෙළඳ කටයුතු සිදුකිරීම සඳහා ජාත්‍යන්තර මුදල් ඒකකය ලෙස ශ්‍රී ලංකා රුපියල පිළිගැනීමට ඉරානය එකඟ වීම මෙරටට වාසිදායක බවයි අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ.