Gossips

හිටපු ජනපති මහින්දගෙන් අනිද්දා සී.අයි.ඩී. ය ප්‍රශ්න කරයි

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනිද්දා ප්‍රකාශයක් ලබා ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලිඛිතව දැනුම් දී තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නගේ අත්සනින් යුතුව මෙම ලිපිය කොළඹ – 7 – විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිළ නිවසට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.
අප මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් උදිත් ලොකුබණ්ඩාරගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ එවැනි දැනුම්දීමක් මේ වන තෙක් හිටපු ජනාධිපතිවරයාට ලැබී නොමැති බවයි.
කීත් නොයාර් පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ කථානායක කරු ජයසූරිය ද මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබාදී තිබුණා.
මෙම සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව මත හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජනරාල් අමල් කරුණාසේකර ඇතුළු 6 දෙනෙකු මේ වන විට ඇප මත මුදා හැර සිටිනවා.
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දී පසුව මුදා හැර තිබුණේ 2008 වසරේ මැයි මස 22 වන දායි.