Gossips

විස්සයි විස්සෙන් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවති පන්දුවාර 20 තරඟය කඩුලු 03කින් ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (14) සමත් වුණා.
කාසිය වාසිය හිමිකර ගැනීමෙන් අනතුරුව පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු සියලු කඩුලු පන්දුවාර 16යි පන්දු 04ක් තුල ලකුණු 98කට ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් බිඳ දැමුවා.
එහිදී කුවින්ටන් ඩී කුක් ලකුණු 20ක් රැස්කළ අතර සෙසු කිසිඳු පිතිකරුවෙකුටවත් ලකුණු 20 සීමාව පසුකරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් එහිදී ඉඩ ලබාදුන්නේ නැහැ.
පන්දු යැවීමේදී ලක්ෂාන් සඳකැන් කඩුලු 03ක් බිඳ දැමූ අතර අකිල ධනංජය සහ ධනංජය ද සිල්වා දකුණු අප්‍රිකානු කඩුලු 02 බැගින් බිඳ දැමුවා.
ලකුණු 99ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 16ක් තුල ජයග්‍රාහී සීමාව පසුකර ගියේ කඩුලු 07ක් දැවී තිබියදීයි.
එහිදී ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 31ක් රැස් කළේ හයේ පහර 02ක් සහ හතරේ පහර 04ක් සමඟින්.
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගිය දිනේෂ් චන්දිමාල් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 36ක්.
ශ්‍රී ලංකාව ලද මෙම ජයග්‍රහණය සමඟ පන්දුවාර 20 තරඟයේ ශුරතාවය ශ්‍රී ලංකාව සතු වුණා.