Gossips

ගුවන් සමාගම්වල අක්‍රමිකතා සොයන කොමිසමේ නිලධාරීන්ට පත්වීම් ලිපි

ශ්‍රී ලන්කන් එයාර්ලයින්, ශ්‍රී ලන්කන් කේටරින් සහ මිහින් ලංකා යන සමාගම්වල අක්‍රමිකතා සොයා බැලීමේ ජනාධිපති පරික්ෂණ කොමිසමේ නිලධාරීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් අද පෙරවරුවේ සිදුකෙරුණා.
ඒ ජනාධිපති කාර්යාලයේදී.
ශ්‍රී ලන්කන් එයාර්ලයින්, සීමාසහිත ශ්‍රී ලන්කන් කේටරින් සහ සීමාසහිත මිහින් ලංකා යන සමාගම්වල 2006 ජනවාරි මස 6 වැනි දින සිට 2018 ජනවාරි මස 31 වැනිදා දක්වා වු කාලය තුළ සිදුවූවායැයි සැලකෙන අක්‍රමිකතා පිළිබඳ විමර්ශන හා පරීක්ෂණ සිදුකර වාර්තා කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිලධාරීන්ට පත්වීම් ලිපි අද පිරිනැමුණා.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින්.
මෙම කොමිසමේ සභාපති ලෙස කටයුතු කරන්නේ විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතායි.
විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු ඊ.ඒ.ජී.ආර්. අමරසේකර, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, විශ්‍රාමලත් නියෝජ්‍ය විගණකාධිපති එම්.ඩී.ඒ. හැරල්ඩ් යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.ජේ.කේ. ගීගනගේ මෙනවිය මෙහි සෙසු සාමාජිකයින් වනවා.
මේ අතර, ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතා ඇතුළු එහි සාමාජිකයන් පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී පවතින දේශපාලන තත්ත්වය සහ ඉදිරි කටයුතු පිළිබද සාකච්ඡාවක නිරත වුණා.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ජනාධිපතිවරයා ගන්නා ඕනෑම තීරණයකට සහය පළ කරන බව ආරුමුගම් මහතා එහිදී පැවසූ බවයි.