Gossips

කෝට්ටේ සංඝ සභාව ඥානසාර හිමියන්ට ජනපති සමාව ඉල්ලයි

බරපතල වැඩ සහිත වසර 6ක සිර දඬුවමක් නියමව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කරන බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් පවසනවා.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා භික්ෂූන් වහන්සේ පිරිසක්, අද මහනාහිමියන් බැහැ දුටු අවස්ථාවේදි උන්වහන්සේ මේ බව සඳහන් කළා.
මේ අතර, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ හෘද ස්පන්ධනයේ ගැටළුවක් පවතින බව රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත පවසනවා.
ඒ හේතුවෙන් උන්වහන්සේට අද දින සිදුකිරීමට නියමිතව තිබූ ශල්‍යකර්මය සිදුනොකළ බවයි ඔහු සඳහන් කළේ.
කෙසේ වෙතත්, විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් ඥානසාර හිමියන් පරීක්ෂා කිරීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් සිටින බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.