Gossips

මතභේදයට තුඩුදුන් පෞද්ගලික බලාගාර දෙකකින් විදුලිය ගැනීම අර්බුදයක

මතභේදයට තුඩුදී ඇති පෞද්ගලික බලාගාර දෙකකින් විදුලිය මිලදී ගැනීමට විදුලිබල මණ්ඩලය ගෙන ඇති තීරණය අර්බුදයක් බවට පත්ව තිබෙනවා.
ඒ, අදාළ පෞද්ලික බලාගාර දෙක සමඟ අත්සන් කර ඇති ගිවිසුම් සහ ඉදිරියේදී අත්සන් කිරීමට ගිවිසුම සම්බන්ධයෙන් කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වාර්තාවක් කැඳවීමත් සමගයි.
කාලගුණික වෙනස්වීම් මත ඉදිරි වසර 3 ක කාලසීමාවේදී රට තුළ විදුලි අර්බුදයක් ඇතිවිය හැකි බවට නිර්දේශ කරමින් විදුලිබල මණ්ඩලය පෞද්ගලික බලාගාර දෙකකින් විදුලිය මිලදී ගැනීමටයි තීරණය කර ඇත්තේ.
කෙසේ වෙතත් ඉදිරි වසර තුන තුළ එවැනි විදුලි මිලදීගැනීමක් සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙන්ම විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගීතා කොමිසමේ උසස් නිලධාරීන් පසුගියදා කෝප් කමිටුව හමුවට කැඳවනු ලැබුවා.
එහිදී දීර්ඝ ලෙස ප්‍රශ්න කිරිමට ලක්වූයේ ගිවිසුම් කාලය ඉක්මවූ ඇඹිලිපිටියේ ඒ.එස්. මාතර නැමති පෞද්ගලික බලාගාරයකින් යළි විදුලිය මිලදී ගැනීමට සූදානම්වීම පිළිබඳවයි.
කෝප් කමිටුව සිය ප්‍රශ්න කිරීම් අවසානයේ මෙම විදුලි මිලදී ගැනීම් සිදුනොකළ යුතු බවට නිර්දේශ කර තිබෙනවා.
මීට අමතරව ඒෂියා පවර් නැමති අනෙක් පෞද්ගලික විදුලි බලාගාරය සමඟ ඇති කරගැනීමට යන ගිවිසුම් සම්බන්ධයෙන්ද විමර්ශනය කිරීමට බලාපොරොත්තුවන බවයි කෝප් කමිටු සාමාජිකයෙකු අප කළ විමසීමකදී සඳහන් කළේ.
කෙසේ වෙතත් මෙම පෞද්ගලික විදුලිබලාගාරවලින් ඉදිරි වසර 3 සඳහා විදුලි මිලදීගැනීමට විදුලිබල මණ්ඩලය මේ වනවිට තීරණය කර අවසන් බවයි ජාතික පුවත්පත් අද වාර්තා කර තිබුණේ.
විදුලිබල අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියේ ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිවී ඇති බවයි.
මේ අතර මෙම පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදීගැනීමේ උත්සාහය රටේ විදුලි අවශ්‍යතාව මත සිදුවන්නක් නොවන බවට විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රන්ජන් ජයලාල් චෝදනා කළා.