Gossips

දුම්රිය එන්ජින් අලූත්වැඩියාවක් හේතුවෙන් දුම්රිය දෙකක් අවලංගු වෙයි

දින 4ක් පුරා ක්‍රියාත්මක කෙරුණු වර්ජනයෙන් පසු අද උදෑසන සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කෙරුණද දුම්රිය දෙකක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.
දුම්රිය එන්ජින්වල අලූත්වැඩියා කටයුතු හේතුවෙන් මරදානේ සිට පොල්ගහවෙල දක්වා උදෑසන 6 ට ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය සහ උදෑසන 6.10 ට හලාවත සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට තිබූ දුම්රිය මෙලෙස අවලංගු කෙරුණා.
දිනකට දුම්රිය වාර 352 ක් ධාවනය කෙරෙන අතර, අද දිනයේදී උදෑසන කාර්යාල දුම්රියවල සුළු ප්‍රමාදයක් සිදුවූ බවයි දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත් අද පස්වරුවේත් නියමිත කාලසටහනට අනුව දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය නියෝජ්‍ය ගමනාගමන අධිකාරී වජිර සමන් පොල්වත්තගේ කියා සිටියා.
මේ අතර පසුගියදා පොල්ගහවෙල – පනලිය ප්‍රදේශයේ සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් සිදු කෙරෙන මූලික පරීක්ෂණ කටයුතු අද ආරම්භ කෙරෙනවා.
කොළඹ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය කාර්මික දෝෂයක් හේතුවෙන් නතර කර තිබූ අතර, කොළඹ සිට රඹුක්කන බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය එහි ගැටී මෙම අනතුර සිදුවුණේ පසුගිය 6 වනදා පස්වරුවේයි.
අනතුරුව කොළඹ සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රියේ රියදුරු, රිය සහායක, නියාමක සහ උප නියාමක යන හතරදෙනාගේ වැඩ තහනම් කෙරුණා.
කෙසේ වෙතත් දුම්රිය වර්ජනය හේතුවෙන් මොවුන්ගෙන් ප්‍රකාශ ලබාගැනීම ප්‍රමාද වූ අතර අද දිනයේදී එම කටයුතු ආරම්භ කරන බවයි දුම්රිය නියෝජ්‍ය ගමනාගමන අධිකාරී වජිර සමන් පොල්වත්තගේ කියා සිටියේ.