Gossips

නැවතුණු වර්ජනයෙන් පසු දුම්රිය ධාවනය ඇරඹේ – රාත්‍රී තැපැල් දුම්රිය නියමිත පරිදි

දුම්රිය සේවකයින් ආරම්භ කර තිබූ වර්ජනය තාවකාලිකව අවසන් වීමත් සමඟ සැලසුම් කර ඇති පරිදි සියලුම තැපැල් දුම්රිය රාත්‍රීයේ ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.
ඒ අනුව රාත්‍රී 7ට කොළඹ කොටුවෙන් මඩකලපුව දක්වා සහ රාත්‍රී 7.15ට තලෙයිමන්නාරම මෙන්ම රාත්‍රී 8ට බදුල්ල බලා පිටත්වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය එලෙසම ධාවනය කරන බවයි පාලක මැදිරියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
එමෙන්ම රාත්‍රී 8.30ට කන්කසන්තුරේ බලා සහ රාත්‍රී 9.30ට ත්‍රිකුණාමලය බලා තැපැල් දුම්රිය ධාවනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
වර්ජනය හේතුවෙන් වසා දමා තිබූ නාවලපිටිය දුම්රිය ස්ථානාධිපතිවරයාගේ කාර්යාලය විවෘත කිරීමෙන් පසු එහි නතර කර තිබූ දුම්රිය බලවේග කිහිපයක් යළිත් ධාවනය කර තිබෙනවා.
බදුල්ල දුම්රිය ස්ථානයේ ද නතර කර තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මහනුවර දක්වා ධාවනය කිරීමට පියවර ගෙන ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ.
කෙසේ වෙතත්, හෙට (13) උදෑසන සිට සාමාන්‍ය පරිදි සියලු දුම්රිය ධාවනයට කටයුතු යොදා ඇති බවට පාලක මැදිරියේ ප්‍රකාශකයා තවදුරටත් සඳහන් කළා.
පොළොන්නරුවේ පිහිටි ජනාධිපති නිළ නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ අද (12) උදෑසන දුම්රිය වෘත්තීය සමිති සාකච්ඡාවක් පැවැත්වුණා.
මෙහිදී ජනාධිපතිවරයා වර්ජනයේ නිරත දුම්රිය සේවකයන්ගේ ගැටළුවලට කඩිනම් විසඳුම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව ප්‍රකාශ කිරීම හේතුවෙනුයි වර්ජනය අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කළේ.
වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා අනුමත කර තිබූ කැබිනට් පත්‍රිකාව අත්හිටුවීමට විරෝධය පළ කරමින් දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිවරුන් සහ පාලකවරුන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් පූර්ව දැනුම්දීමකින් තොරව පසුගිය 8 වන දා වර්ජනයක් ආරම්භ කළා.
ඒ හේතුවෙන් දිවයින පුරා දුම්රිය ධාවනය මුළුමනින්ම ඇණහිටියා.
දිනකට දුම්රිය ගමන් වාර 375ක් පමණ ධාවනය කෙරෙන අතර, වර්ජනය ක්‍රියාත්මක වූ දින 04 තුළ පමණක් දුම්රිය ගමන් වාර 1350ක් පමණ අවලංගු කෙරුණු බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.
එමෙන්ම වර්ජනය ක්‍රියාත්මක වූ දින 04 තුළ දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 70ක පමණ පාඩුවක් සිදුව ඇති බවයි දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ කියා සිටියේ.