Gossips

අද රාත්‍රියේ සිට තැපැල් දුම්රිය යළි පීල්ලට එයි – අනෙකුත් සියලුම දුම්රිය ධාවනය හෙට සිට සාමාන්‍ය පරිදි

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය අවසන්වීමත් සමඟ සැලසුම් කර ඇති පරිදි සියලුම තැපැල් දුම්රිය රාත්‍රීයේ ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.
ඒ අනුව රාත්‍රී 7ට කොළඹ කොටුවෙන් මඩකලපුව දක්වා සහ රාත්‍රී 7.15ට තලෙයිමන්නාරම මෙන්ම රාත්‍රී 8ට බදුල්ල බලා පිටත්වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය එලෙසම ධාවනය කරන බවයි පාලක මැදිරියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
එමෙන්ම රාත්‍රී 8.30ට කන්කසන්තුරේ බලා සහ රාත්‍රී 9.30ට ත්‍රිකුණාමලය බලා තැපැල් දුම්රිය ධාවනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
කෙසේ වෙතත්, හෙට (13)උදෑසන සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදුවන බවයි පාලක මැදිරියේ ප්‍රකාශකයා තවදුරටත් සඳහන් කළේ.
ජනාධිපතිවරයා සමඟ සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව දුම්රිය වර්ජනය නවතා දැමීමට වෘත්තිය සමිති අද (12) පෙරවරුවේ තීරණය කළා.
වැටුප් විෂමතා ඉවත් කිරීම සදහා අනුමත කර තිබූ කැබිනට් පත්‍රිකාව අත්හිටුවීමට විරෝධය පළ කරමින් දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිවරුන් සහ පාලකවරුන් ඇතුළු දුම්රිය ක්ෂේත්‍ර කිහිපයක වෘත්තීය සමිති පූර්ව දැනුම්දීමකින් තොරව මෙම අඛන්ඩ වර්ජනය ආරම්භ කළේ පසුගිය 08 වනදායි.