Gossips

දුම්රිය වර්ජනය අවසන් කිරීමට වෘත්තිය සමිති තීරණයක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව සිය වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය වෘත්තිය සමිති පවසනවා.
දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ කියා සිටියේ තම ගැටළුවලට විසඳුම් ලබාදෙන බවට ජනාධිපතිවරයා ලබාදුන් පොරොන්දුව හේතුවෙන් වර්ජනය අත්හිටවූ බවයි.
වැටුප් විෂමතා ඉවත් කිරීම සදහා අනුමත කර තිබූ කැබිනට් පත්‍රිකාව අත්හිටුවීමට විරෝධය පළ කරමින් දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිවරුන් සහ පාලකවරුන් ඇතුළු දුම්රිය ක්ෂේත්‍ර කිහිපයක වෘත්තීය සමිති පූර්ව දැනුම්දීමකින් තොරව මෙම අඛන්ඩව වැඩවර්ජනය ආරම්භ කළේ පසුගිය 8 වනදායි.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ඊයේ කියාසිටියේ දුම්රිය වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කළ ද අසාධාරණ ඉල්ලීම්වලට කිසිසේත් රජය එකග නොවන බවයි.
මුදල් අමාත්‍යාංශය විසින් වැටුප් විෂමතා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට මාස දෙකක කාලයක් ඉල්ලා ඇති බව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
එම දෙමසක කාලය දක්වාම දුම්රිය වර්ජනය ක්‍රියාත්මක කළ ද මීට වඩා විසඳුමක් ලබා දිය නොහැකි බවයි නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ කියා සිටියේ.
වර්ජනය අතරතුර වරින්වර සීමිත දුම්රිය ගමන්වාර කිහිපයක් ධාවනය කිරීමට වෘත්තීය සමිති කටයුතු කළා.
මෙම වර්ජනය හේතුවෙන් ඊයේ දිනයේ ද බොහෝ මගීන් පිරිසක් අපහසුතාවයන්ට පත්වුණා.
මේ අතර, ගම්පහ ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන කියා සිටියේ අවශ්‍ය වුවහොත් දුම්රිය ධාවනය කිරීම සදහා හමුදාව යොදවන බවයි.