Gossips

දෙමසක් වැඩ වැරුවත් වෙනසක් නැහැ – රජය, දුම්රිය වෘත්තීය සමිතිවලට දැනුම්දෙයි

දුම්රිය වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කළ ද අසාධාරණ ඉල්ලීම්වලට කිසිසේත් රජය එකග නොවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මුදල් අමාත්‍යාංශය විසින් වැටුප් විෂමතා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට මාස දෙකක කාලයක් ඉල්ලා ඇති බවයි.
එම දෙමසක කාලය දක්වාම දුම්රිය වර්ජනය ක්‍රියාත්මක කළ ද මීට වඩා විසඳුමක් ලබා දිය නොහැකි බවයි නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ කියා සිටියේ.
වැටුප් විෂමතා ඉවත් කිරීම සදහා අනුමත කර තිබූ කැබිනට් පත්‍රිකාව අත්හිටුවීමට විරෝධය පළ කරමින් දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිවරුන් සහ පාලකවරුන් ඇතුළු දුම්රිය ක්ෂේත්‍ර කිහිපයක වෘත්තීය සමිති පූර්ව දැනුම්දීමකින් තොරව මෙම අඛන්ඩව වැඩවර්ජනය ආරම්භ කළේ පසුගිය 8 වනදායි.
වර්ජනය අතරතුර වරින්වර සීමිත දුම්රිය ගමන්වාර කිහිපයක් ධාවනය කිරීමට වෘත්තීය සමිති කටයුතු කළා.
කෙසේ වෙතත්, මෙම වර්ජනය හේතුවෙන් ඊයේ දිනයේ ද බොහෝ මගීන් පිරිසක් අපහසුතාවයන්ට පත්වුණා.
මේ අතර, ගම්පහ ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන කියා සිටියේ අවශ්‍ය වුවහොත් දුම්රිය ධාවනය කිරීම සදහා හමුදාව යොදවන බවයි.
කෙසේ වෙතත් බලධාරීන්ගෙන් මෙතෙක් විසඳුමක් නොලැබීම හේතුවෙන් සිය වර්ජනය අඛණ්ඩව සිදුකරන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
සිය ගැටළුවට ජනාධිපතිවරයාගේ මැදිහත්වීමක් අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ කියා සිටියේ හෙටින් ආරම්භ වන කාර්යාල සතිය සදහා ද අවශ්‍ය පරිදි ප්‍රවාහන පහසුකම් යෙදවීමට බලාපොරොත්තු වන බවයි.
එහෙත්, මෙම අසාධාරණ ඉල්ලීම් වලට කිසිසේත් එකග නොවන බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියා.