Gossips

උතුරෙන් මතුවූ මත්පෙති ගෙන්වීම පිටුපස ඩුබායි හි සැඟව සිටින මධුෂ් ඇත්දැයි සැක

වවුනියාවේ සෙට්ටිකුලම් හිදී ට්‍රැමඩෝල් මත්පෙති තොගයක් සොයාගැනීමේ සිදුවීම පිටුපස ඩුබායි හි සැඟව සිටින පාතාල නායක මාකඳුරේ මදුෂ් නැමැත්තා සිටින බවට සැක මතුව ඇතැයි විමර්ශන මෙහෙයවන පොලිස් කණ්ඩායම් පවසනවා.
ඩුබායි සිට තමිල්නාඩුව හරහා මෙම මත්පෙති තොගය මෙරටට ගෙන්වා ඇති බවට තොරතුරු මේ වනවිටත් අනාවරණ වී ඇති බවයි උසස් පොලිස් නිලධාරියෙකු අප කළ විමසීමකදී කියා සිටියේ.
වවුනියාව – සෙට්ටිකුලම් – නේරියකුලම් ප්‍රදේශයේදී ට්‍රැමඩෝල් වර්ගයේ මත්පෙති 70,000 ක් ගෙන්වූ යුවළක් ඊයේ දිනයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ, යාපනය කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින්.
මෙහිදී අත්අඩංගුවට ගනු ලැබුවේ 24 හැවිරිදි සැකකරුවෙක් සහ 18 හැවිරිදි සැකකාරියක් වන අතර, ඔවුන් මාතලේ සහ කැළණිය ප්‍රදේශවල පදිංචිකරුවන්.
ඔවුන් වවුනියාව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර ඇති අතර, එළඹෙන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
මෙම යුවළ ඩුබායි සිට තමිල්නාඩුව හරහා මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කරන මත්පෙති කොළඹට ප්‍රවාහනය කිරීමේ ජාවාරමේ නිරතව සිටි බවටයි අනාවරණ වී ඇත්තේ.