Gossips

සිංගප්පූරු ගිවිසුම ගැන සොයන්න ජනපති විශේෂඥ කමිටුවක් පත් කරයි

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදුකොට වාර්තා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ස්වාධීන විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කර තිබෙනවා.
මෙම ගිවිසුම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබී ඇති අදහස් සලකා බලමිනුයි ජනාධිපතිවරයා මෙම කමිටුව පත් කර ඇත්තේ.
එම කමිටුවට කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, විශ්‍රාමලත් ආර්ථික විද්‍යා මහාචාර්ය දේශමාන්‍ය ඩබ්ලිව්.ඩී . ලක්ෂ්මන් කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ, කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය අජිතා තෙන්නකෝන්, ස්වාධීන උපදේශක ආචාර්ය සනත් ජයනෙත්ති, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සහකාර අධිපති ආර්.ඒ. ජයතිස්ස එම කමිටුවේ සෙසු සමාජිකයින් අතරට අයත්.
ඒ අනුව ශ්‍රී ලංකා – සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක් සිදුකිරීමටත්, යෝජිත නව වෙළෙඳ ප්‍රතිපත්තියේ ප්‍රායෝගික බලපෑම් හා භාවිතයන් ද, ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ වෙළෙඳ ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය මගපෙන්වීම සඳහා වූ නිර්දේශ ලබා ගැනීමටත් එමගින් අපේක්ෂිතයි.
එසේම මෙම ගිවිසුම තුළින් ශ්‍රී ලංකාවේ විවිධ සේවා සපයන අංශ කෙරෙහි මෙන්ම ශ්‍රී ලංකාවේ සාමාජිය හා ආර්ථික තත්ත්වය සහ ජනතාවගේ ජීවන තත්ත්වය කෙරෙහි වන බලපෑම අධ්‍යයනය කිරීමත් කමිටුවේ විෂය පථයට අයත්.
මෙම කමිටුව වෙත යෝජනා හා අදහස් ඉදිරිපත් කිරීම සඳහා සියලූම පාර්ශ්වයන් වෙත අවස්ථාව සලසා දී තිබෙනවා.
විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව මාස දෙකක් ඇතුළත ජනාධිපතිවරයාට භාරදීමට නියමිතයි.