Gossips

දුම්රිය වෘත්තීය සමිති අඛණ්ඩ වර්ජන තීරණයක

සිය ඉල්ලීම් ඉටු වන තුරු වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති අද යළිත් ප්‍රකාශ කළා.
එසේම දැනට ක්‍රියාත්මක දුම්රිය ගමන් වාර ද, හෙට සිට අත්හිටුවා අඛණ්ඩව වැඩ වර්ජනයේ නිරත වීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.
කැබිනට් මණ්ඩලය මගින් අනුමත කර තිබූ වැටුම් විශමතා නිවැරදි කිරීමේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අත්හිටුවීම හේතුවෙන් දුම්රිය රියදුරන්, නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් ඇතුළු වෘත්තීය සමිති මෙම වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කළේ පසුගිය 8 වන දා පස්වරු 3ටයි.
ඊයේ දිනයේ කාර්යාලයීය දුම්රිය 8ක් ධාවනයට එක් කළ ද, අද උදෑසනත් දුම්රිය සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් ඇතුළු කාර්යාල සේවකයින් දැඩි අපහසුතාවන්ට ලක්වුණා.
මේ අතර, අද පස්වරුවේ වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති මාධ්‍ය හමුවක් කැදවමින් සඳහන් කළේ අද දිනයේ ධාවනය කළ විශේෂ දුම්රිය හෙට සිට නවතා දැමීමට කටයුතු කරන බවයි.
කෙසේ වෙතත්, දුම්රිය එන්ජින් රියදුරු සහයක සංගමය කොළඹ දී අද මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ අවසර හිමිවන්නේ නම්, ඔවුන්ට දුම්රිය ධාවනය කිරීමේ හැකියාව පවතින බවයි.
මේ අතර, මුදල් අමාත්‍ය මංගල සමරවීර සිය අමාත්‍යාංශයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් යළි අවධාරණය කළේ වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කර, ගැටළු විසදා ගැනීම සඳහා සාකච්ඡාවකට පැමිණෙන ලෙසයි.
මෙම තත්ත්වය තුළ මහනුවර, ගාල්ල, මාතර, අනුරාධපුර, මහව, හලාවත සහ රඹුක්කන දක්වා දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබුණා.