Gossips

සීගිරියට තවත් ප්‍රශ්නයක්

සීගිරිය සංස්කෘතික ත්‍රිකෝණයට අයත් සංචාරක නිකේතන කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වීම නිසා සංචාරක කර්මාන්තය බිඳ වැටීමේ අවදානමක් පවතින බව සීගිරියේ හෝටල් හිමියන් පවසනවා.
පසුගිය මාස තුන තුලදී පමණක් හෝටල් 12 කට ආසන්න සංඛ්‍යාවක් මෙලෙස කොල්ලකා ඇති අතර, ඒවායේ සිටි විදේශිය සංචාරකයින්ට පහරදී මුදල් සහ භාණ්ඩ ද පැහැර ගෙන ඇති බවයි සංස්කෘතික ත්‍රිකෝණ හෝටල් සංගමයේ සභාපති සාලිය දයානන්ද හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
පවතින තත්ත්වය මත සීගිරිය ප්‍රදේශයේ හෝටල් වෙත මේ වනවිට විදේශ සංචාරකයින් පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව හෝටල් හිමියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
සීගිරිය සහ දඹුල්ල පොලීස් ස්ථාන මගින් මීට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන නමුත්, පොලීසියට අවශ්‍ය පහසුකම් අවම මට්ටමේ පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
අප මේ පිළිබඳව සීගිරිය පොලීසියෙන් ද විමසීමක් කළ අතර එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ අදාළ කොල්ලකෑම් සිදුකළ සැකකරුවන් මේ වනවිට හඳුනාගෙන ඇති බවයි.
ඔවුන්ව කඩිනමින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක කර ඇති බව එම උසස් පොලිස් නිලධාරියා ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, සංස්කෘතික ත්‍රිකෝණ හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති සාලිය දයානන්ද පවසන්නේ සංචාරකයින්ගේ ආරක්ෂාව සඳහා සීගිරියට සංචාරක පොලීසියක් නොමැති වීම බලවත් ගැටලුවක් බවයි.