Gossips

දුම්රිය වර්ජනය අඛණ්ඩව – කාර්යාල දුම්රිය 8 ක් කොළඹට

විසඳුම් නොලැබීම හේතුවෙන් අදත් වර්ජනය ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා.
වැටුප් විෂමතා මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති පෙරේදා පස්වරු තුනේ සිට හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනු ලැබුවා.
දැනට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ දුම්රිය ස්ථානාධිපතිවරුන් මෙන්ම දුම්රිය අධීක්ෂණ කළමනාකරණ සේවයට අදාළ වෘත්තීය සමිති 05 ක්ද එක්ව තිබෙනවා.
කෙසේ වෙතත්, වර්ජනයට සහය නොදක්වන සේවකයින් යොදවා ඊයේ කොළඹ – කොටුව දුම්රිය ස්ථානයේ සිට හලාවත, රඹුක්කන, මහව, ගාල්ල, අවිස්සාවේල්ල සහ මහනුවර බලා දුම්රිය ගමන්වාර 8 ක් ධාවනය කිරීමට පාලනාධිකාරිය පියවර ගත්තා.
එම දුම්රිය අද උදෑසන අදාළ දුම්රිය ස්ථානවලින් යළි කොළඹ කොටුව දක්වා ගමන් ආරම්භ කරන බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.
කෙසේ වෙතත්, බලධාරීන් තම ගැටලූවට විසඳුම් ලබාදෙනවා වෙනුවට විවිධ ප්‍රකාශ නිකුත් කිරීම නිසා ධාවනය කෙරෙන දුම්රියන් 08 ද නතර කිරීමේ හැකියාව පවතින බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ අතර, ලංකා ගමනාගමන මණ්ඩලය විසින් දුම්රිය වර්ජනයට මුහුණදීම සඳහා දෛනිකව ගමන් කරන ගමන්වාරවලට අතිරේකව බස් රථ 100 ක් ධාවනය සඳහා එක්කර තිබෙනවා.
කෙසේ වෙතත්, දුම්රිය නොමැතිවීම හේතුවෙන් මගීන් මෙන්ම උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ද ඊයේ දිනයේදී දැඩි අපහසුතාවයට පත්ව සිටි බවට තොරතුරු වාර්තා වුණා.
එසේම, කොළඹ කොටුවේ සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියක් ඊයේ අම්බලංගොඩ – කන්දේගොඩ දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්ව තිබුණා.