Gossips

වසර 6 ක සිර දඩුවම් නියමවූ ඥාණසාර හිමියන්ගෙන් අභියාචනයක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වසර 6 ක සිර දඩුවම් නියමවූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මේ වනවිට බන්ධනාගාර සහ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මෙම නඩුවේ තීන්දුව ලබාදුන්නේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ලයි.
ඥානසාර හිමියන්ට එරෙහිව එල්ල කර ඇති චෝදනා 04ටම උන්වහන්සේ වරදකරු බව ප්‍රකාශ කළ අභියාචනාධිකරණය ඊට අදාළව වසර 19ක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කළේ වසර 06කින් ගෙවී යන අයුරින්.
හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුව අවසන් වීමෙන් පසු එම අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසිරීමෙන් ඥානසාර හිමියන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇත්දැයි විභාග කරන ලෙස ඉල්ලූවේ එවක හෝමාගම මහේස්ත්‍රාත්, වත්මන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායකයි.
ඒ අනුව අභියාචනාධිකරණය විසින් මීට පෙර කරන ලද නියෝගයකට අනුව නීතිපතිවරයා ඥානසාර හිමියන්ට එරෙහිව චෝදනා 4ක් යටතේ මෙම පෙත්සම ගොනු කර තිබුණා.
මීට පෙර සන්ධ්‍යා එක්නැලිගොඩට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේට මාස 06 ක සිර දඩුවම් නියමවූ අතර, පසුව ඥාණසාර හිමියන් මුදා හැරුණේ ඇප මතයි.
ඥානසාර හිමියන්ට අද ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව උන්වහන්සේගේ නීතීඥයින් අධිකරණයට ප්‍රකාශ කළා.
ඒ අනුව, මේ මස 29 වනදා ඊට අදාළව වාචිකව කරුණු දක්වන ලෙසයි අභියාචනාධිකරණය දැනුම්දී ඇත්තේ.
වකුගඩු ආබාධයක් හේතුවෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පස්වන වාට්ටුවේ ප්‍රතිකාර ලබනවා.
නඩුව අවසානයේ අභියාචනාධිකරණය දැනුම්දුන්නේ උන්වහන්සේ වහාම බන්ධනාගාර බාරයට ගන්නා ලෙසයි.
මේ අතර ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ප්‍රතිකාර ලබන අතරතුර අද ප්‍රකාශයක් සිදුකර තිබුණා.
එහිදී උන්වහන්සේ කියා සිටියේ සති කිහිපයක සිට පැවති කොන්දේ වේදනාවක් සඳහා ප්‍රතිකාර ලබාගැනීමට තමන් රෝහල් ගතවූ බවයි.
ඊයේ දිනයේදී සිදුකළ සී ටී අයි ස්කෑන් පරීක්ෂණයෙන් වකුගඩුවේ විශාල ගලක් ඇති බවට තහවුරු වූ බවයි උන්වහන්සේ ප්‍රකාශ කළේ.
දිනෙන් දින මතුවන විවිධ කරුණුවලට රටේ දැවෙන තැවෙන ප්‍රශ්න යටපත් කිරීමට ඉඩ ලබා නොදෙන ලෙස උන්වහන්සේ එහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියා.
ඥාණසාර හිමියන්ගේ සුවදුක් විමසීම සඳහා රාවණා බලය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් සහ සිංහල රාවය ජාතික සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් රෝහල වෙත පැමිණ සිටියා.
මේ අතර අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගැනීමටද ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළා.
ඒ මෙම නඩුව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, නලින් පෙරේරා සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද සලකා බැලූණු අවස්ථාවේදීයි.
මෙහිදී නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට අධි චෝදනා බාර දී මොහුට විරුද්ධව ඇති චෝදනාවලට දඩුවම් නොකර සිටීමට හේතු ඉදිරිපත් කරන ලෙසද විනිසුරු මඩුල්ල දැනුම් දී තිබෙනවා.
එසේම අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඩුවම් නොකර සිටීමට ලබන මස 07 වනදා අධිකරණය හමුවේ පෙනී සිට නිදහසට කරුණු දක්වන්නැයි උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන්ට සහ ආනන්දි ශෂිදරන්, කේ. ශිවනේෂන් යන පළාත් අමාත්‍යවරුන්ට අද නියෝග කෙරුණා.
ඒ උතුර පළාත් හිටපු අමාත්‍ය පී. ඩෙනීෂ්වරන් ගොනු කර තිබූ පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදියි.