Gossips

සමුගත් කරුණානිධි, ජයලලිතාට සහ අන්නතුරෙයිට මැදි වෙයි

දශක දෙකකට ආසන්න කාලයක් තමිල්නාඩුව පාලනය කළ හිටපු මහ ඇමති අභාවප්‍රාප්ත මුත්තුවේල් කරුණානිධිගේ අවසන් කටයුතු චෙන්නායි මරීනා වෙරළ තීරයේදී මේ වනවිට සිදු කෙරෙනවා.
ඔහුගේ දේහය එහි මිහිදන් කිරීමට තමිල්නාඩු ප්‍රාන්ත රජය අවසර ලබානොදුන් නමුත්, අද පෙරවරුවේ විශේෂ අධිකරණ සැසියක් පවත්වමින් චෙන්නායි මහාධිකරණය නියෝග කළේ කරුණානිධිගේ දේහය එහි මිහිදන් කිරීමටයි.
ඒ අනුව ඩී.එම්.කේ. පක්ෂයේ නිර්මාතෘ සී.එන්. අන්නාතුරෙයි සහ හිටපු මහ ඇමතිනි ජයලලිතා ජයරාම්ගේ දේහයන් තැන්පත් කර ඇති ස්ථානවලට මැදිව 94 හැවිරිදි මුත්තුවේල් කරුණානිධිගේ දේහය මිහිදන් කෙරෙනු ඇති.
මේ අතර, කරුණානිධිගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා චෙන්නායි හි රාජා ජී ශාලාව ඉදිරිපිටට රැස්වූ ඔහුගේ ආධාරකරුවන් පාලනය කිරීමට පොලිසිය අද පෙරවරුවේ බැටන් ප්‍රහාරයක් එල්ල කළා.
එහිදී ඇතිවූ තෙරපීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.