Gossips

අධීක්ෂණ මන්ත්‍රීවරුන් ගැන කැබිනට්ටුවට ඉදිරිපත් වූ පත්‍රිකාවක් ජනපති ඉවත දමයි

ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන පිළිබදව සොයා බැලීම සඳහා අමාත්‍යාංශවලට පත් කර ඇති අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට 7 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සහ නිළ වාහනයක් ඇතුළු පහසුකම් ලබාදිය යුතු බවට ඉදිරිපත් වූ යෝජනාවක් ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.
රජයේ ආරංචි මාර්ග සදහන් කළේ අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට කාර්යාලයක්, 7 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක්, නිළ වාහනයක්, ඉන්ධන දීමනා සහ දුරකථන දීමනා ඇතුළු පහසුකම් ලබාදීමට නිලධාරී කමිටුවකින් කරන ලද යෝජනාවක් පදනම් කරගෙන මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇති බවයි.
එම යෝජනාවට දැඩි විරෝධය පළ කර ඇති ජනාධිපතිවරයා ඊට ඉඩ දිය නොහැකි බව ද ප්‍රකාශ කර තිබෙනවා. මහින්ද අමරවීර සහ නිමල් සිරිපාල ද සිල්වා යන අමාත්‍යවරුන් ද ජනාධිපතිවරයාගේ අදහස අනුමත කරමින් අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අදහස් දක්වා ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, ඇමතිවරුන්ට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරෙන මූලික අයිතිවාසිකම් නඩුවලදී ඔවුන්ට රජයේ වියදමින් පෞද්ගලික නීතිඥවරුන්ගේ සහය ලබා ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවක් ද ජනාධිපතිවරයා ඊයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.
අමාත්‍ය මලික් සමරවික්‍රම මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇති අතර, ඒ පිළිබදව නීතිපතිවරයාගෙන් කරුණු විමසා මීළග අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පිළිතුරක් ලබාදෙන බවට ජනාධිපතිවරයා දැනුම් දී ඇති බවයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.