Gossips

පැහැරගත් බව පැවසූ මාතර සිසුවා පැහැරගෙන නැති බව හෙළිවෙයි

තමන් කිසියම් පිරිසක් පැහැරගෙන ගිය බවට පාසල් සිසුවෙකු පොලිසියට සිදුකළ පැමිණිල්ලක් ව්‍යාජ පැමිණිල්ලක් බවට අද (07) එම සිසුවා විසින්ම පිළිගෙන තිබෙනවා.
මාතර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන මෙවර ගණිත අංශයෙන් උසස්පෙළ සඳහා පෙනී සිටින සිසුවෙකුයි මෙලෙස ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇත්තේ.
ඔහු ඊයේ දිනයේ තමන් පෙනීසිටීමට නියමිතව තිබූ සංයුක්ත ගණිතය ප්‍රශ්න පත්‍රයට පෙනී සිටීමට නොහැකි වූ බව පවසමින් මෙලෙස පැමිණිල්ල ඉදිරිපත් කර තිබුනා.
එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ කිසියම් පිරිසක් ඊයේ දිනයේ තමන් විභාගය සඳහා යමින් සිටියදී පැහැරගෙන ගොස් අහංගම ප්‍රදේශයේ රඳවාගෙන සිටි බවයි.
එම අවස්ථාවේ තමන් ඔවුන්ට පහරදී පලා ආ බවයි සිසුවා පොලිසියට පැමිණිලි කර ඇත්තේ.
අනතුරුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ එම සිසුවා තමන් පැහැරගත් බව පැවසූ ස්ථානය පසුකර මාර්ගයේ ඇවිදගෙන ගොස් ඇති බවයි.
එම ස්ථානයේ සවිකර තිබූ CCTV දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව අදාළ සිසුවා පැහැරගෙන ගොස් නොමැති බවට තහවුරු කරගෙන ඇති පොලිසිය නැවත එම සිසුවාගෙන් අදාළ සිදුවීම පිළිබඳව ප්‍රශ්න කර තිබෙනවා.
පසුව අනාවරණ වී ඇත්තේ සිසුවා විභාගයට මුහුණදීමට තරම් සුදුසු මානසික මට්ටමක නොසිටීම හේතුවෙන් එය මගහැරීම සඳහා මෙලෙස ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි.
ඔහු ගණිතය උපකාරක පන්තිද පවත්වන අතර සංයුක්ත ගණිතය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමට නිසි පරිදි සූදානම් නොවීම මෙයට හේතුවී ඇති බවයි වැඩිදුර විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ.
සිසුවා පවසන්නේ මව්පියන් මෙවර විභාගයෙන් තමන්ගෙන් සමස්ත ලංකා ප්‍රතිඵලයක් බලාපොරොත්තු වූ බවයි.
එය ඉටුකරගැනීමට නොහැකිවීම හේතුවෙන් සිසුවා මෙලෙස ව්‍යාජ පැමිණිල්ලක් කරන්නට ඇතැයි පොලිසිය සැකපලකරනවා.
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් මේවනවිට පොලිසිය නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.