Gossips

එමිල් රන්ජන් ළමාහේවා සහ, නියොමාල් රංගජීවට අදත් ඇප නැහැ

වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමේදී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මේ මස 21 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
2012 වසරේ නොවැම්බර් 09 වනදා වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් රැඳවියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
මේ අතර, රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නුවරඑළිය හිටපු නගරාධිපති ගමගේ මහින්ද කුමාර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක අද නියෝග කළා.
ඒ අනුව මොහු රුපියල් 20,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි මුදා හැර ඇත්තේ.
2013 වසරේ නුවරඑළිය නගරාධිපතිවරයාව සිටි සමයේ වසන්ත උදානය සැණකෙලිය සඳහා යෙදවූ රුපියල් දෙලක්ෂ 25,000කට අධික මුදලක් පොදු අරමුදලකට බැර නොකර, තමන්ගේ පෞද්ගලික ගිණුමක තැන්පත් කිරීම සැකකරුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.
සිද්ධියට අදාළ නඩුව නොවැම්බර් මස 11 වන දා යළි කැදවීමට නියමිතයි.