Gossips

ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට තවදුරටත් බාධා

පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ආසන්නයේ පනලිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදුවූ දුම්රිය අනතුරෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 32 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙම දුම්රිය අනතුර හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ල වන බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.
කෙසේ වෙතත්, දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ඊයේ රාත්‍රියේ සිට ආරම්භ කළ බව ද පාලක මැදිරියේ ප්‍රකාශකයෙකු තවදුරටත් කියා සිටියා.
මේ අතර, අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීම සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අනතුරෙන් දුම්රිය මාර්ගයට සහ දුම්රිය දෙකෙහිම මැදිරි කිහිපයකට හානි සිදුව තිබෙනවා.
අනතුර හේතුවෙන් ඊයේ රාත්‍රියේ ධාවනය වීමට නියමිතව තිබූ බදුල්ල තැපැල් දුම්රිය ද අවලංගු කිරීමට දුම්රිය පාලක මැදිරිය පියවර ගත්තා.
කොළඹ සිට නුවර බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ආසන්නයේ පනලිය ප්‍රදේශයේදී කාර්මික දෝෂයක් හේතුවෙන් නතර වී තිබෙනවා.
පසුව කොළඹ සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රිය නතර කර තිබූ දුම්රියෙහි පිටුපස ගැටීමෙනුයි මෙම අනතුර සිදුවුණේ.
කෙසේ වෙතත්, අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බවයි අතිරේක දුම්රිය සාමානාධිකාරී විජය සමරසිංහ සඳහන් කළේ.