Gossips

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ප්‍රසිද්ධ කිරීම තහනම්

අද පැවැත්වුණු පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්ණපත්‍ර ළඟතබාගැනීම, විකිණීම, මුද්‍රණය කිරීම හෝ අන්තර්ජාලය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම සිදුකළහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිිත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ශිෂ්‍යත්ව විභාගය අවසන් වුවද එහි ප්‍රශ්න පත්‍රය තවදුරටත් රහස්‍ය ලේඛනයක් වන බවයි.
මේ හේතුවෙන් කුමන අයුරකින් හෝ එය ප්‍රසිද්ධ කිරීම නීතිවිරෝධී බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ.
කිසියම් තැනැත්තෙකු හෝ ආයතනයක් විසින් එය කඩ කරන්නේ නම් පොලිස් මූලස්ථානයට හෝ විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙසද ඔහු ඉල්ලීමක් කළා.
ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ 19 11 ක්‍ෂණික ඇමතුම් අංකයෙන් හෝ 0112 78 42 08, 0112 78 4537 යන දුරකථන අංකවලට මෙම දැනුම්දීම් සිදුකළ හැකියි.
මීට අමතරව 0112 42 11 11 දුරකථන අංකයෙන් පොලිස් මූලස්ථානයටද දැුනුම්දිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මේ අතර අද පැවැත්වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම සඳහා සිය මව සමඟ පාපැදියකින් යමින් සිටි පාසල් දැරියක් මහියංගණය – හද්දත්තාව ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.
ඔවුන් මේ වනවිට මහියංගණය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තාවන්නේ.
ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම අනුරාධපුරය – පදවිය ප්‍රදේශයේ විහාරස්ථානයක ඊයේ පැවති ශිෂ්‍යත්ව විභාග ආශිර්වාද පූජාවක් අතරතුර එල්ල වූ දෙබර ප්‍රහාරයකින් තුවාල ලැබූ දෙමව්පියන් සහ සිසුන් 123 දෙනෙකු රෝහල් ගත කෙරුණා.
ඒ අතර සිටි සිසුන් 85 දෙනා ප්‍රතිකාර ලබා නික්ම ගොස් ඇත්තේ විභාගයට පෙනී සිටීමේ අපේක්ෂාවෙන්.