Gossips

රන් මිශ්‍ර පස් රට යවන නීති දැඩි වෙයි

ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ අපද්‍රව්‍ය ලෙස එක්රැස් වන පස් පිටරට යැවීමේදී සිදුවන අක්‍රමිකතා වැළැක්වීම සදහා විධිමත් වැඩපිළිවෙලක් ආරම්භ කරන බව භූ විද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශය පවසනවා.
එහි සභාපති අසේල ඉද්දවෙල මේ බව කියා සිටියේ හිරු ප්‍රවෘත්ති අංශය ඒ සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින්.
අප භූ විද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශයෙන් මෙම තොරතුරු විමසුවේ මිලියන 500 කට අධික වටිනාකමින් යුත්, රන් කැබලි මිශ්‍ර පස් පිටරට යැවීමේ ජාවාරමක් පිළිබදව තොරතුරු අනාවරණ වී ඇති බවට විවිධ වාර්තා පළ වීම හේතුවෙන්.
මේ වනවිටත් ඉන්දියාවට ගෙන යාම සදහා සූදානම් කළ පස් කන්ටේනර් 15 ක් රේගුව මාස 8 කට වැඩි කාලයක් පුරා රදවාගෙන සිටිනවා.
එසේම අවස්ථා කිහිපයකදී භූ විද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශයේ අනුමැතියකින් තොරව නියමිත ක්‍රියා පටිපාටිය සගවා රැගෙන යාමට උත්සාහ කළ පස් කන්ටේනර් මෙලෙස රේගුව රදවාගෙන තිබුණා.
ඉන් ඇතැම් කන්ටේනර් යළි හරවා යවා තිබුණේ දඩ මුදල් ද අය කර ගැනීමෙන් පසුවයි.
කෙසේ වෙතත්, නිරන්තරයෙන් රන් මිශ්‍ර පස් පිටරට යැවීමේ උත්සාහයන් ක්‍රියාත්මක වීම නිසා ඊට අදාළව පියවර ගන්නා බවයි භූ විද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල සදහන් කළේ.