Gossips

පානදුරේ මියගිය පුද්ගලයා ගැන විවෘත තීන්දුවක්

පානදුර දකුණ පොලීසිය අත්අඩංගුවට ගෙන, බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව මියගිය පානදුර – කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි චමින්ද ප්‍රනාන්දුගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබාදී තිබෙනවා.
එය සිදුකෙරුණේ කළුතර – නාගොඩ රෝහලේදීයි.
37 හැවිරිදි චමින්ද ප්‍රනාන්දු රන්මාල කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පානදුර – දකුණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු කළුතර බන්ධනාගාරයට යොමුකර තිබුණා.
කෙසේ වෙතත්, එහිදී මෙම පුද්ගලයා මියගිය අතර, ඔහුගේ සොහොයුරියක චෝදනා කළේ පොලීසිය සිදුකළ පහරදීමකින් තම සොහොයුරා මියගිය බවයි.
කෙසේ වෙතත්, අප පානදුර දකුණ පොලිීසියෙන් කළ විමසීමකදී ඔවුන් එම චෝදනාව ප්‍රතික්ෂේප කළා.
මේ අතර, යාපනය – චුන්නාක්කම් මාර්ගයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පොලිස් වෙඩි පහරින් මියගිය යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනාගේ මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ වෙඩි වැදීමට ලක්වන අවස්ථාවේ සිසුන් දෙදෙනා බීමතින් සිට ඇති බවට පොලීසිය සිදුකළ ප්‍රකාශ අසත්‍ය බවයි.
2015 වසරේ ඔක්තෝම්බර් 20 වනදා යාපනය – චුන්නාක්කම් ප්‍රධාන මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ 24 හැවිරිදි සිසුන් දෙදෙනෙකු පොලීසිය විසින් සිදු කළ වෙඩි තැබීමකින් මියගියා.
මෙම සිසුන් දෙදෙනා අණ නොතකා ධාවනය කළ බවත්, ඔවුන් එම අවස්ථාවේ බීමතින් සිටි බවත් පසුව පොලීසිය ප්‍රකාශ කළා.