Gossips

පානදුර – දකුණ පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවෙකු කළුතර බන්ධනාගාරයේදී මිය යයි

පානදුර – දකුණ පොලීසිය අත්අඩංගුවට ගෙන පසුව කළුතර බන්ධනාගාරය වෙත යොමුකළ සැකකරුවෙකු මියගොස් තිබෙනවා.
පානදුර – කෙසෙල්වත්ත ජය මාවතේ පදිංචි රජිත් චමින්ද ප්‍රනාන්දු නැමති 37 හැවිරිදි පුද්ගලයෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ.
රන් මාල කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු කළුතර බන්ධනාගාරය වෙත යොමුකර තිබෙනවා.
කෙසේ වෙතත් මියගිය රජිත් චමින්දගේ සොහොයුරියක චෝදනා කළේ පානදුර – දකුණ පොලීසිය තුළදී සිය සහෝදරයාට බරපතල ලෙස පහරදී ඇති බවටයි.
මියගිය පුද්ගලයාගේ මෘතදේහය මේ වනවිට පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා නාගොඩ රෝහලේ තැන්පත් කර තිබෙනවා.
එම පරීක්ෂණයෙන් අනතුරුව මියයෑමට හේතුව අනාවරණ කරගත හැකි බවයි පොලීසිය සඳහන් කළේ.
කෙසේ වෙතත් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පානදුර – දකුණ පොලිසියෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ අදාළ පුද්ගලයා රන් මාල කොල්ලකෑමක් සම්බන්ධයෙන් පසුගිය 1 වනදා අත්අඩංගුවට ගෙන එදිනම පානදුර අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාරයට යොමුකළ බවයි.
කෙසේ වෙතත් පහරදීමක් සිදු නොකළ බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මේ අතර, අඹන්පොල රෝහල් වාට්ටුවක් තුළ අද අළුයම තරුණයෙකු ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.
අඹන්පොල පොලීසිය සඳහන් කළේ වීදුරු කටුවකින් ශරීරයට සිදුවූ තුවාල හේතුවෙන් මොහු ඊයේ දිනයේදී අඹන්පොල රෝහලට ඇතුළත් වී ඇති බවයි.
16 හැවිරිදි මෙම තරුණයාට ඔහුගේ පෙම්වතියගේ සොහොයුරෙකු පහරදුන් බවටයි ඔහු රෝහල් පොලිසියට ප්‍රකාශ කර තිබුණේ.
කෙසේ වෙතත්, අඹන්පොල පොලිසිය සඳහන් කළේ මෙම තරුණයා විසින්ම වීදුරු කටුවකින් ශරීරයට හානිකරගෙන රෝහල්ගතව තිබූ බවයි.
එහෙත් ඔහු අද අලූයම ඇඳ ඇතිරිල්ලක ආධාරයෙන් රෝහල් වාට්ටුවක් තුළ ගෙළ වැළලාගෙන මියගොස් තිබුණා.
පොලීසිය සඳහන් කළේ ප්‍රේම සබඳතාව හේතුවෙන් ඇතිවූ ආරවුලක් නිසා මොහු මෙලෙස සියදිවි නසාගන්නට ඇති බවයි.