Gossips

විපක්ෂ නායක ධූරය ගැන, සන්ධාන මහලේකම් තීරණාත්මක සාකච්ඡාවක

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් කථානායකවරයා සිදුකළ විමසීම ගැන එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කරන බව සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී අමාත්‍යවරයා සඳහන් කළේ පක්ෂ නායකයින් සමඟ ඉදිරි දින කිහිපය තුළ සාකච්ඡා සිදුකර එහි තීරණය කථානායකවරයා වෙත දැනුම් දෙන බවයි.
මේ අතර, කතානායකවරයාගේ අවසන් තීරණය ඉදිරි පාර්ලිමේන්තු සතියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර සිය මතය දන්වා එවීමෙන් පසු කතානායකවරයාගේ අවසන් තීරණය ප්‍රකාශයට පත් කිරීම සිදුවනු ඇති බව වැඩබලන පාර්ලිමේන්තු මහලේකම් නීල් ඉද්දවෙල අප කළ විමසීමකදී ඊයේ කියා සිටියේ.
විපක්ෂ නායක ධුරය, ඒකාබද්ධ විපක්ෂයට හිමිවිය යුතු බවට සංවාදයක් ඇති වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ මැති ඇමතිවරුන් 16 දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමඟයි.
ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන විපක්ෂ නායකවරයා ලෙස පත් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 8 දෙනෙකු අත්සන් කළ ලිිපියක් කථානායකවරයාට භාර දෙනු ලැබුවේ මේ අතරතුරයි.
ඒ අනුව, කතානායක කරූ ජයසූරිය විපක්ෂ නායකවරයා සම්බන්ධයෙන් මතුව ඇති සංවාදය පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීරගේ මතය විමසනු ලැබුවා.
පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව විරුද්ධ පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අතරින් විපක්ෂ නායකවරයා තෝරා ගැනීමේ අවසන් තීන්දුව කථානායකවරයා සතුවනවා.