Gossips

මැති ඇමති වැටුප් වැඩි කිරීම පිළිබඳ මෙතෙක් කිසිදු අවසන් තීරණයක් ගෙන නැහැ – කථානායක මාධ්‍ය අංශය

මැති ඇමති වැටුප් වැඩි කිරීමක් පිළිබඳ මෙතෙක් කිසිදු අවසන් තීරණයක් ගෙන නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් කථානායකවරයාගේ මාධ්‍ය අංශය අවධාරණය කරනවා.
මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩිකිරීම පිළිබඳ අදත් විවිධ මාධ්‍ය වාර්තා පලවී තිබුණා.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන කථානායක මාධ්‍ය අංශය පවසන්නේ 2006 වසරේ නොවැම්බර් 23 වැනිදා සිදුවූ යෝජනා සම්මතයක් අනුව උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ වැටුප් වැඩිවන අවස්ථාවන් හීදී ඊට සමාන්තරව මැති ඇමති වැටුප් ද ඉහළ දැමීමට තීරණය වූ බවයි.
මෙම පසුබිම මත පසුගියදා අධිකරණ ක්ෂේත්‍ර යේ සිදුවූ වැටුප් වැඩිවීම පිළිබඳ සලකා බලා මැති ඇමති වැටුප්ද ඒ අනුව ගැළපිය යුතු බවට පෙන්වා දෙමින් තමා වෙත ලැබී ඇති දැනුම්දීම් කථානායකවරයා නීරීක්ෂණ ඉදිරිපත් කිරීම පිණිස පාර්ලිමේන්තු මහලේකම්වරයාට යොමුකර ඇති බව එම නිවේදනයේ දැක්වෙනවා.
මේ සම්බන්ධ කිසියම් තීරණයකට එළැඹීමේදී 2006 වසරේ තීරණයට අනුව කටයුතු කරන්නේද නැද්ද යන්න පිළිබඳ පක්ෂ නායක රැස්වීමකදී සාකච්ඡා කර පසුව මහජන නියෝජිතයින්ගේ අදහස්ද විමසීමට හැකියාව ඇති බව කථානායක මාධ්‍ය අංශය පෙන්වා දෙනවා.
මේ අතර, මැති ඇමති වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් අදත් විවිධ අදහස් පළවුණා.