Gossips

ජනපති – අගමැති තවත් තීරණාත්මක සාකච්ඡාවක

එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවන ලෙස එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් අද ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ, අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා හමුවී සිදුකළ සාකච්ඡාවලදියි.
එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලූ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී පැවැත්වෙනවා.
එහිදී එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බවටයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
මේ අතර පළාත්පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු උද්ගතව ඇති දේශපාලන තත්ත්වය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර තීරණාත්මක සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේදී ජනාධිපති නිල නිවසේදී පැවැත්වුණා.
මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා අතර මුහුණට මුහුණ සාකච්ඡා පැවති දෙවන අවස්ථාවද මෙයයි.
ඉරිදා පස්වරුවේ පැවති සාකච්ඡාව විනාඩි 20 කට සීමාවුවත්, දෙදෙනා අතර ඊයේ පැවැත්වූ සාකච්ඡාව පැය 2 කට අධික කාලයක් පැවැත්වුණා.
මැතිවරණ ප්‍රතිඵල මත තමාට තීරණයක් ගැනීමට සිදුව ඇති බැවින් ඊට ප්‍රථම තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාට දැනුම්දුන් බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නව අගමැතිවරයෙක් පත්කර ගන්නා ලෙසයි.
ඒ සඳහා කථානායක කරූ ජයසූරියගේ නමද යෝජනාවී තිබෙනවා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය පරිදි සිය පක්ෂයේ සංශෝධන සිදුකිරීමට සූදානම් නැති බවත්, එවැන්නක් සිදුවිය යුත්තේ සිය පක්ෂය තුළින්ම බවත්, අග්‍රාමාත්‍යවරයාගේ ස්ථාවරය වූ බව සඳහන්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද සම්බන්ධ කරගෙන තනි ආණ්ඩුවක් පිහිටුවන බවට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කර ඇති අදහසට ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට තමන් අමාත්‍ය පදවි ලබා නොදෙන බවයි.
අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට අදහස් නොකරන්නේ නම් නව ජන වරමක් ලබාගැනීම සඳහා මහ මැතිවරණයට ඉදිරිපත් වීමද මෙම අවස්ථාවේදී ගත හැකි සුදුසු පියවරක් බවයි ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාට ඊයේ පැවති සාකච්ඡාවේදී දැනුම්දී ඇත්තේ.
ඒ අනුව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර පැවති එම සාකච්ඡාව අවසන් වී ඇත්තේ එකඟතාවකින් තොරවයි.
කෙසේ වෙතත් අද උදෑසන එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනෙකු අග්‍රාමාත්‍යවරයා හමුවූ අතර, අද පස්වරු 3 ට ද තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අග්‍රාමාත්‍යවරයා හමුවුණා.
එමෙන්ම මේ වනවිට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය, රාජ්‍ය සහ කැබිනට් අමාත්‍යවරුන් අග්‍රාමාත්‍යවරයා සමග අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් පැවැත්වෙනවා.
අද උදෑසන පැය 2 කට ආසන්න කාලයක් අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක. ‘
‘අපි ප්‍රකාශ කළා රතු එළියක් විතරක් නෙමෙයි ඇත්තටම කනේ පහරක් වගේ අපිට ගහලා තියෙන්නේ. අපේ යෝජනාවනම් ගරු අගමැතිතුමාට පක්ෂය තුලත් යම් වෙනස්වීම් ඇති කරලා එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් හදන්න ඕන තැනට අපි යන්න ඕන කියලා ’’
ප්‍රශ්නය – අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදුවෙනවා කියලාද කියන්නේ ?
පිළිතුර – මේක අගමැතිතුමා වෙනස් කරන මැතිවරණයක් නෙමෙයිග හැබැයි පක්ෂය තුළ යම්කිසි වෙනස්කම් කරන්න ඕන කියන
ප්‍රශ්නය – මොකක්ද ඒ වෙනස ඇමතිතුමා?
පිළිතුර – අපි යෝජනා කළා නායකතුමා සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයට එකතු වෙලා සාකච්ඡා කරලා ඒ වෙනස්විම් කරන්න කියලා. මේ සාකච්ඡා වටයක් ගියායින් පස්සේ අනිවාර්යෙන්ම පක්ෂය සහ ආණ්ඩුවේ අනාගතය ගැන තීන්දුවක් ගන්න ඕන.
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මෙලෙස අදහස් පළ කළා.
‘‘අපි තීන්දුවක් කළා තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදන්න. ජයවේවා
ප්‍රශ්නය – මන්ත්‍රීතුමා ඊයේ ඔබතුමාලාගේම ඇමතිවරු අග්‍රාමාත්‍යවරයාත් එක්ක සිදුකළ සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දක්වමින් කියා සිටියේ පක්ෂයේ පැහැදිලි වෙනසක් සිදු වෙන්න ඕනේ කියලා ?
පිළිතුර – ඉස්සෙල්ලාම ආණ්ඩුව හදලා ඉන්න ඕනග අද මේ ආණ්ඩුව භාරගන්න මහින්ද රාජපක්ෂ මහත්තයා සුදානම් නැහැ කියලා කියනවා. නමුත් අපිට රට අස්ථාවර වෙන්න දෙන්න බැහැ. එහෙනම් අපි එක්සත් ජාතික පක්ෂය විදිහට සූදානම් ආණ්ඩුව අරගෙන රට ස්ථාවර කරන්න. ඒක නිසා අපි ඉස්සේල්ලාම හදන්න ඕන ආණ්ඩුව. මේ අවුරුදු දෙකේදී රට ඉස්සරහට ගෙනියන්න බැරි වුණානම් බැරුව ගියේ මේ යහපාලන ජාතික ආණ්ඩු කෙහෙල්මල හින්දා.
ප්‍රශ්නය – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටිය කොන්දේසියක් දාලා තියෙනවා කියලා ආරංචියි තනි ආණ්ඩුවකට එනවානම් අගමැති ධුරයේ වෙනසක් වෙන්න ඕන කියලා.
පිළිතුර – එයාලට අපේ පක්ෂයේ තීන්දු ගන්න බෑ. මේ ඡන්දය එක්සත් ජාතික පක්ෂය පරාජය වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අන්ත පරාජයක් වුණා. ඒ හින්දා එයාලට බෑ යූ.එන්.පී. එකේ තීන්දු තීරණ ගන්න.
ප්‍රශ්නය – එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් 48 දෙනෙක් මේ ජාතික ආණ්ඩුව පවත්වාගෙන යන්න කියලා ලිපියක් දීලා තියෙනවා නේ? ’’
පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි කියා සිටියේ ‘‘ කොහෙද තියෙන්නේ පෙන්වන්න. කොහෙවත් නැහැ. හරි එහෙනම් බොහොම ස්තුතියි. අපි තනි ආණ්ඩුවක් හදන්න යනවා. ’’ යනුවෙන්.
මේ අතර එක්සත් ජාතික පක්ෂය සුළුතර ආණ්ඩුවක් පිහිටුවන බවත්, අවශ්‍ය අවස්ථාවලදී දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය ලබාගැනීමට සූදානම් වන බවටත් වාර්තා පළවනවා.
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජාගෙන් විමසීමක් කළ අතර, ඔහු සඳහන් කළේ කිසිදු පක්ෂයකින් ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා තම සන්ධානයට මෙතෙක් ආරාධනාවක් සිදුකර නොමැති බවයි.