Gossips

විපක්ෂ නායක ගැන කතානායක තීන්දුව ලබන සතියේ – මන්ත්‍රී වැටුප් වැඩිවීම පක්ෂ නායක නියෝගයකින් පසු

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් කතානායකවරයාගේ අවසන් තීරණය ඉදිරි පාර්ලිමේන්තු සතියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර සිය මතය දන්වා එවීමෙන් පසු කතානායකවරයාගේ අවසන් තීරණය ප්‍රකාශයට පත් කිරීම සිදුවනු ඇති බව වැඩබලන පාර්ලිමේන්තු මහලේකම් නීල් ඉද්දවෙල අප කළ විමසීමකදී කියා සිටියා.
විපක්ෂ නායක ධුරය, ඒකාබද්ධ විපක්ෂයට හිමිවිය යුතු බවට සංවාදයක් ඇති වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ මැති ඇමතිවරුන් 16 දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමඟයි.
ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන විපක්ෂ නායකවරයා ලෙස පත් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 8 දෙනෙකු අත්සන් කළ ලිිපියක් කතානායකවරයාට භාර දෙනු ලැබුවේ මේ අතරතුරයි.
ඒ අනුව, කතානායක කරූ ජයසූරිය විපක්ෂ නායකවරයා සම්බන්ධයෙන් මතුව ඇති සංවාදය පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීරගේ මතය විමසනු ලැබුවා.
ඊට හේතුවී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ද පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් වීමයි.
පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව විරුද්ධ පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අතරින් විපක්ෂ නායකවරයා තෝරා ගැනීමේ අවසන් තීන්දුව කතානායකවරයා සතුවනවා.
විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් මතය ලබාදීමට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වන්නේ දැයි ප්‍රකාශ කළ යුතු බව ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම පවසනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මේ බව සඳහන් කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදීයි.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කිරීම සිදුවන්නේ පක්ෂ නායකයන්ගේ නියෝගයකින් පසුව බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.
මේ වනතුරුත් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන් මෙම වැටුප් වැඩිවීම ක්‍රියාත්මක කිරීම සඳහා සිය අවසන් අනුමැතිය ලබාදී නොමැති බවයි වාර්තා වන්නේ.
2006 නොවැම්බර් මස 23 වැනිදා පාර්ලිමේන්තුව සම්මත කරන ලද නියමයන්ට අනුව විනිසුරුවරුන්ගේ වැටුප් වැඩිවන සෑම අවස්ථාවකදීම ඊට සමානුපාතිකව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ මැති ඇමතිවරුන්ගේද වැටුප් වැඩිවිය යුතුයි.
පසුගිය ජනවාරි පළමු වැනිදා සිට විනිසුරුවරුන්ගේ වැටුප් වැඩි වූ අතර, ඒ අනුව මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩි වන්නේ දැයි යන්න පිළිබඳව සංවාදයක් පවතිනවා.
වැඩ බලන පාර්ලිමේන්තු මහ ලේකම් නීල් ඉද්දවෙල සඳහන් කළේ අදාළ වැටුප් තලයන් සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා කර ඇති බවයි. කෙසේ වෙතත්, එය අවසන් වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා පක්ෂ නායකයන්ගේ අවසන් නියෝගයක් අවශ්‍ය වන අතර, ඒ සඳහා යන පිරිවැය පිළිබඳ අනුමැතිය පාර්ලිමේන්තුව විසින්ම ලබාදිය යුතුයි.
ඊයේ දිනය වනවිට පුවත්පත් වාර්තා කර තිබුණේ 215% ක ප්‍රතිශතයකින් මෙම වැටුප් වැඩිවීම ලබාදීමට සූදානමක් පවතින බවයි.
යෝජිත මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ වැටුප් වැඩිවීමට පක්ෂව සහ විපක්ෂව මේ වනවිටත් විවිධ අදහස් ඉදිරිපත්ව තිබෙනවා.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ ලබන සතියේ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙන අවස්ථාවකදී මෙම කරුණ පිළිබඳව විශේෂ අවධානයක් යොමුවනු ඇති බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් ඉහළ නැංවීමට අදාළ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන්නේ නම් ඊට විරෝධය පළ කිරීමට සූදානම් බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.