Gossips

එජාප ආණ්ඩුවකින් තව තවත් රටේ ආර්ථිකය විනාශ වන බව ඒකාබද්ධය කියයි

එක්සත් ජාතික පක්ෂය පමණක් ආණ්ඩු කළහොත් රටේ ආර්ථිකය තව තවත් විනාශවනු ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.
‘‘එක්සත් ජාතික පක්ෂයත් යහපාලන රජයත් අනුගමනය කරපු පංච විධ ප්‍රතිපත්තිය තමයි පලිගැනීම, බදුගැහීම, බොරු කීම, විකිණීම, දූෂණය. මේ රජය විසින් දිගින් දිගටම සමාජගත කරන්න ගත්ත බොරුව තමයි මහින්ද රාජපක්ෂ යුගයේදී ගත්ත ණය නිසා රට ගෙනියන්න බැහැ. මේක පට්ටපල් බොරුවක්. රජයේ විගණකාධිපතිවරයා ලවා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලත් මේ බොරුව කියෙව්වා. ඒකාබද්ධ විපක්ෂයේ නායකත්වය සූදානම් වෙනවා විගණකාධිපතිවරයාට විරුද්ධව විශ්වාස භංගයක් ගෙන ඒම පිලිබද. 10 වැනිදායින් පස්සේ ආර්ථික කළමනාකරණය මම භාර ගන්නවා කියලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කිව්වා. දැන් එතුමාට පුළුවන්ද මේ ආර්ථික කළමනාකරණය භාර අරන් අවුරුදු 3ක් විනාශ කරපු රට යලි ගොඩ නගන්න. දැන් කියනවා නෑ අපි එක්සත් ජාතික පක්ෂය අපි වෙනම ගිහිල්ලා ගොඩනගනවා. වෙනම ගියොත් මේ විනාශයේ ඉතුරු ටික වෙන විදිහ අපි කාටවත් හිතා ගන්න බැහැ. ’’
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන.
‘‘මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා රැකියා දස ලක්ෂයේ වැඩපිළිවෙල යටතේ අලූතෙන් හතු පිපෙන්න වගේ බාර් ඇරලා. බාර් ඇතුලෙ කාන්තාවන්ට වැඩ කරන්න දෙන ගැසට් නිවේදනය නිකුත් කළා. තව තියෙනවා පිරිමි පිරිමි විවාහ වෙන්න හා ලඳුන් ලඳුන් විවාහ වෙන්න අවශ්‍ය නීති රීති අනාගතයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කරලා දෙන්න තමයි යන්නෙ. රාජ්‍ය නොවන සංවිධාන, ඩොලර් කාක්කො, පිරිමි නර්ස්ලා එකතුවෙලා මේ කරන්න යන විකෘත වැඩපිළිවෙල වෙනස් කිරීම සදහා රජයට රතු එලියක් පත්තු කරලා මේ ආණ්ඩුවේ වැරදි පිලිවෙල දාලා ගෙදර පලයං කියලා ජනතාව විසින් විශ්මිත ඓතිහාසික තීන්දුවක් දීලා තියෙනවා. මේ ආණ්ඩුව තමන් විසින්ම තමයි මේ සියලූම වලවල් කපා ගන්නෙ. කවුරුවත් කපලා දෙන ඒවා නෙවෙයි. තමන්ම වල කපාගෙන තමන්ම වැලලෙනවා.’’
මේ එහිදී මාධවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන.
‘‘දැන් මේ අග්‍රාමාත්‍යධුරයට කරූ ජයසූරිය මහත්තයා පත්වෙයි කියලා මතයක් පලවෙනවා. ජොකියා මාරු වුණා කියලා අස්සයාගේ ගමන වෙනස් වෙන්නෙ නැහැ. මේ අස්සයත් එක්කම ජොකියා මාරු කරන්න ඕනා. නැතුව ජොකියා විතරක් මාරු කරලා රට වැටිලා තියෙන තැනින් ගොඩගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරන්නෙ නැහැ. ඒකාබද්ධ විපක්ෂය විදිහට ඉල්ලීම තියෙන්නේ වහාම මහමැතිවරණයට යා යුතුයි කියන එක. ආණ්ඩුව මේ විදිහට පත්වාගෙන ගියොත් මහමැතිවරණයක් නොතියා. ඔබතුමන්ලාගේ මොකක්ද තීරණය..
මේ සියල්ලට තව දවස් වැඩිපුරම තියෙන්නේ 500 ක් නෙ. තුන් අවුරුද්දක්ම ඉවසා සිටි අපිට දින 500 ක් ඉවසීම පිලිබද කිසි ප්‍රශ්නයක් මතු වෙන්නෙ නැහැ. සියුම් ස්නායු වැඩකරන සියලූදෙනාට තේරෙනවා. ආණ්ඩුවට විරුද්ධ ප්‍රබල ජනමතයක් එලියෙ පවත්වාගෙන අස්ථාවර තත්ත්වයක් තුල ස්ථාවර ආණ්ඩුවක් පවතින්න බැහැ.’’