Gossips

කැලෑ ගිනි තැබීමෙන් උතුරු දුම්රිය මාර්ගයට හානි

වනාන්තර ගිනි තැබීමේ සිදුවීම් හේතුවෙන් උතුර දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයකට හානි සිදුව ඇති බවට තොරතුරු වාර්තා වනවා.
දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු කියා සිටියේ එම දුම්රිය මාර්ගයේ සිල්පර කොටන් සහිත ප්‍රදේශවල පිහිටි තණකොළ මතට ගිනි පැතිරීමත් සමඟ මෙලෙස දුම්රිය මාර්ගයට හානි සිදුව ඇති බවයි.
දුම්රිය දෙපාර්තමේන්තුවට අනුයුක්ත කම්කරුවන් යොදවා මෙම ප්‍රදේශ අලූත්වැඩියා කිරීමට කටයුතු කරන බවයි එම ප්‍රකාශකයා සඳහන් කළේ.
උතුරු දුම්රිය මාර්ගයේ දැනට මහව සිට වවුනියාව දක්වා සිල්පර කොටන් පවතින අතර දුම්රිය මාර්ගය අවට ස්ථාන කිහිපයකම පසුගිය දිනවල කැලෑ ගිනිගැනීම් වාර්තා වුණා.
භාවිතයෙන් ඉවත් කළ සිල්පර කොටන් ගොඩගසා ඇති ස්ථානවලට එම ගිනි ව්‍යාප්ත වී මාර්ගයේ ඇතැම් සිල්පර කොටන්වලට ද හානි සිදුව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.
මෙවන් සිද්ධියක් උතුරු දුම්රිය මාර්ගයේ අවසන් වරට වාර්තාවී ඇත්තේ වවුනියාව, පරසන්ගස්වැව ප්‍රදේශයේදියි.
මේ අතර බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කවල වනාන්තර ගිනි තැබීම් වාර්තාවීම සීග්‍ර ලෙස ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.
පසුගිය කාලසීමාව තුළදී බදුල්ල දිස්ත්‍රික්කයේ පමණක් මෙවැනි සිද්ධීන් 78 ක් වාර්තාවී ඇති අතර, ඉන් හානියට පත්ව ඇති භූමි ප්‍රමාණය හෙක්ටයාර 500 කට අධිකයි.
එසේම කැළෑ ගිනි තැබීම් අවම කිරීමේ අරමුණින් සමස්ත ඌව පළාතම ආවරණය වන පරිදි ජංගම දුරකථන කෙටි පණිවුඩ සේවාවක් අද සිට ආරම්භ කර තිබෙනවා.