Gossips

පක්ෂ නායකයින් අරලියගහ මන්දිරයේදී රැස්වෙයි

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ක්‍රමවේදය සම්බන්ධයෙන් පක්ෂ නායකයන් අතර විශේෂ සාකච්ඡාවක් අද රාත්‍රියේ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි.
ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.
මෙම හමුවේදී පක්ෂ නායකයන් මැතිවරණය පැවැත්වීමේ ක්‍රමවේදය පිළිබඳ සිය ස්ථාවරය ඉදිරිපත් කරනු ඇති.
මේ සම්බන්ධයෙන් දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක, අමාත්‍ය මනෝ ගනේෂන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කරමින් කියා සිටියේ පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සියලූදෙනාගේ එකඟත්වය රැස්වීමේදී ලැබෙනු ඇති බවයි.
මේ අතර පළාත් සභා මැතිවරණ ක්‍රමය සමාලෝචනය කිරීම සඳහා පත් කළ සිවිල් සමාජ කමිටුව සකස් කළ අවසන් වාර්තාව අද පෙරවරුවේ කථානායක කරූ ජයසූරිය වෙත භාරදුන්නා.
ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ පක්ෂ නායකයන් අතර අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන විශේෂ සාකච්ඡාවේදී මෙම වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමට නියමිතයි.