දුම්රිය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විශේෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව හේතුවෙන් ඊයේ (31) පැවැති කැබිනට් රැස්වීමේදී අමාත්‍යවරුන් වන ආචාර්ය සරත් අමුණුගම, රාජිත සේනාරත්න සහ මංගල සමරවීර අතර උණුසුම් මත ගැටුමක් ඇති වූ බව වාර්තා වනවා.
දුම්රිය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම විසින් මෙම විශේෂ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇති අතර ඊට මංගල සමරවීර අමාත්‍යවරයා දැඩි විරෝධය පළ කිරීම හේතුවෙන් මෙම උණුසුම් තත්ත්වය හට ගත් බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ද අමුණුගම අමාත්‍යවරයාගේ අදහස අනුමත කරමින් එම කැබිනට් පත්‍රිකාවට සහය දක්වා අදහස් පළ කර තිබෙනවා.
දුම්රිය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය මීට පෙර සරත් අමුණුගම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබූ අතර එම කමිටුවේ නිර්දේශ මතයි මෙම විශේෂ කැබිනට් පත්‍රිකාව ඊයේ (31) ඉදිරිපත් කර තිබුණේ.
එහිදී මුදල් අමාත්‍ය මංගල සමරවීර අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ දුම්රිය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීමට යැයි පවසමින් මෙවැනි විශේෂ කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීම හේතුවෙන් අනෙකුත් ක්ෂේත්රවලට ද ප්‍රශ්න මතුවිය හැකි බවයි.
මංගල සමරවීර අමාත්‍යවරයා විරෝධය පළ කළ ද අදාළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේදී ඊයේ අනුමැතිය හිමිව තිබෙනවා.
දුම්රිය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීමේ විශේෂ කැබිනට් පත්‍රිකාව ඊයේ (31) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අනුමත කර දෙන බවට සරත් අමුණුගම අමාත්‍යවරයා පෙරේදා දී තිබූ පොරොන්දුවක් මත දුම්රිය වෘත්තීය සමිති පෙරේදා (30) ආරම්භ කිරීමට නියමිතව තිබූ වර්ජනය ද නතර කර තිබුණා.