Gossips

රාජකාරිය අතරතුර ගල්ගමුව ඩිපෝ අධිකාරී සහ කළමනාකරු පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදෙයි

පෞද්ගලික බස් රථ රියදුරෙකුට සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකුට පහරදුන් ගල්ගමුව ඩිපෝ අධිකාරීවරයා, කළමනාකාරවරයා සහ තවත් සුළු සේවකයෙකු ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මාර්ග බලපත්‍ර ගැටළුවක් හේතුවෙන් මෙම ගැටුම සිදුව ඇති බවයි.
ගල්ගමුවේ සිට බුදුරුව කන්ද හරහා ඉහළ මරදන්කල්ල මාර්ගයේ ධාවනයට පෞද්ගලික බස් රථයකට මාර්ගස්ථ මගී ප්‍රවහන අධිකාරිය පසුගියදා අවසර ලබාදී තිබුණා.
කෙසේ වෙතත් එම මාර්ගයේ ධාවනය වන ලංගම බස් රථයට මගීන් නොමැති බව පවසමින් ගල්ගමුව ඩිපෝ අධිකාරීවරයා, කළමනාකාරවරයා සහ තවත් සේවකයෙකු වෑන් රථයකින් පැමිණ ධාවනය වෙමින් තිබූ එම පෞද්ගලික බස් රථය නතර කර එහි රියදුරාට සහ තවත් දෙදෙනෙකුට පහරදී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
එහිදී පෞද්ගලික බස් රථ රියදුරාගේ පාර්ශවයෙන්ද ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
කෙසේ වෙතත් ඩිපෝ අධිකාරීවරයා, කළමනාකාරවරයා සහ සුළු සේවකයා මෙම පහරදීමට පැමිණ ඇත්තේ නිල රාජකාරි වේලාව තුළයි.
පසුව එහි පැමිණි ගල්ගමුව පොලීසියේ නිලධාරීන් ඩිපෝ අධිකාරිවරයා, කළමනාකාරවරයා සහ සුළු සේවකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගැටුමේදී තුවාල ලැබූ බස් රථ රියදුරා සහ එහි ගමන් ගත් මගීන් දෙදෙනෙකු පසුව ගල්ගමුව රෝහලට ඇතුළත් කෙරුණා.