Gossips

ජලය සොයා පැමිණෙන වන සතුන් ඝාතනය කිරීමේ ජාවාරමක් (ඡායාරූප)

හම්බන්තොට ප්‍රදේශයේ පවතින වියළි කාලගුණික තත්වය ප්‍රයෝජනයට ගනිමින් ජලය සොයා පැමිණෙන වන සතුන්ට වස මිශ්‍ර ජලය බීමට සලස්වා දඩයම් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව අප වාර්තාකරුවන් පවසනවා.
ප්‍රදේශවාසීන් සඳහන් කර ඇත්තේ ගොන්නොරුව පන්වැව ප්‍රදේශයේ මෙම ජාවාරම ක්‍රියාත්මක වන බවයි.
පවතින වියළි කාලගුණික තත්වය හේතුවෙන් ජලය සොයා පන්වැව ආසන්නයට පැමිණන සතුන් වස මිශ්‍ර ජලය පානය කිරීමට සලස්වා එම සතුන් මියගිය පසු වාහන උපයෝගී කර ගනිමින් රාත්‍රී කාලයේදී මස් සඳහා රැගෙන යන බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.
පන්වැව ආසන්නයේ කුඩා දිය කඩිති සාදා ඒවාට වස මිශ්‍ර කර සතුන් ඝාතනය කරන බවයි ඔවුන් සඳහන් කරන්නේ.
එමෙන්ම වස මිශ්‍ර ජලය පානය කිරීමෙන් දිනකට මියයන මුවන් ප්‍රමාණය දඩයම්කරුවන්ට රැගෙන යාමට නොහැකි තරම් වන අතර එම සතුන් එම ස්ථානවලම දමා යාම හේතුවෙන් ප්‍රදේශය පුරා දැඩි දුර්ඝන්ධයක් ද පවතින බවයි අනාවරණ වී ඇත්තේ.
මියයන වන සතුන්ගේ සිරුරු කොටස් ඌරන් සහ සුනඛයන් විසින් ප්‍රදේශය පුරා රැගෙන ගොස් තිබීම හේතුවෙන් දුර්ඝන්ධය වැඩි බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.
මුවන් ඉලක්ක කර ගනිමින් ජාවාරම්කරුවන් මෙම වස මිශ්‍ර කිරීම සිදු කළ ද ජල පිපාසයෙන් පැමිණෙන වඳුරන් සහ ගවයන් වැනි සතුන්ද මියයන බව හෙළිවී තිබෙනවා.
මීට අමතරව ජලය සොයා පැමිණෙන සතුන් ඉලක්ක කර ගනිමින් උගුල් අටවා තිබීම හමුවේ ධීවර් කර්මාන්තයේ නිරත පුද්ගලයන්ගේ සහ ගව පට්ටි හිමිකරුවන්ගේ ජීවිත ද අවධානම් තත්වයක පවතින බව ද ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.

ඡායාරූප – අම්බලන්තොට අජිත් පුෂ්පකුමාර