Gossips

බීමත්ව සැකකරුවෙකුට පහරදුන් ඉංගිරිය ඕ.අයි.සී. ඇතුලූ හතරදෙනෙකුගේ වැඩ තහනම්

බීමත්ව සැකකරුවෙකුට පහරදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ඉංගිරිය පොලීසියේ නිළධාරීන් තුන්දෙනාගේ වැඩ තහනම් කර තිබෙනවා.
ඒ අනුව පොලිස්පතිවරයාගේ නියෝගය අනුව ඉංගිරිය පොලීසියට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ, පොලිස් සැරයන්වරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ මෙලෙස වැඩ තහනම් කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.
එමෙන්ම පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව ස්ථානාධිපතිවරයාගේද වැඩ තහනම් කර තිබෙනවා.
පෙරේදා රාත්‍රියේ මොවුන් ඉංගිරිය ප්‍රදේශයේ මාර්ගයක රාජකාරී කටයුත්තක නිරතව සිට ඇති අතර එහිදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුව එම සැකකරුවන් ඉංගිරිය පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් ඉන් එක් සැකකරුවෙකු වූ යුද හමුදා සෙබලෙකුට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී සිදුකළ පරීක්ෂණවලදී මෙම පොලිස් නිලධාරීන් තුන් දෙනා බීමත්ව සිට ඇති බවට හෙළිවීමත් සමගයි ඔවුන් ඊයේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ.